Tuesday, August 14, 2018


              අවශ්‍යය තැනට නැති අපේ සංවර්ධන ව්‍යාපෘති
       


                        රටක පාලන ව්‍යුහය තුළ කරනු ලබන ප‍්‍රධාන කි‍්‍රයාවලියන් අතර සංවර්ධන ව්‍යාපෘති ප‍්‍රධාන ස්ථානයක් හිමි කර ගනී. මෙය ග‍්‍රාමීය සංවර්ධනය සහ නාගරික සංවර්ධනය ලෙස ප‍්‍රධාන අංශ දෙකක් යටතේ හදුන්වාදිය හැකිය. ජනතාවගේ මතවාදයන්ගේ උපකාරයෙන් දේශපාලන කරලියට නැතහොත් පාලක තනතුරු වලට පත්වන පුද්ගලයන් විසින් අවධානය ලබා දෙන ප‍්‍රධානම කි‍්‍රයාවලිය මෙම සංවර්ධන ව්‍යාපෘතීන්ය. දිළිදු පවුල් සංවර්ධනය, මහාමාර්ග සංවර්ධනය, ජල ව්‍යාපෘති මේ අතර විශේෂ වන අතර එවැනි සංවර්ධන කි‍්‍රයාවලියන් අවශ්‍ය තැන හෝ අනවශ්‍ය තැන කොයිහැටි වෙනත් ආරම්භ කිරීමට නම් දෙපාරක් නොසිතන නිලධාරීන් මණ්ඩලයක් මෙරට වර්තමානයේ දැකගත හැකිය. අවසානයක් නොමැති ආරම්භක මුල්ගල් ප‍්‍රධානීන්ගේ අති උත්කර්ශවත් උත්සව තුලින් තැම්පත් කළ ආකාරයත් සමාජ වටපිටාව තුල කොතෙකුත් හමුවෙයි.
                            
                     සංවර්ධන ව්‍යාපෘතියක් වු කලී රට තුල පවතින ගැටලූකාරී තත්වයන් නිරාකරණය කිරීමට ගෙනඑනු ලබන සාර්ථක කි‍්‍රයාවලියකි. ජනතාවගේ බදු මුදලින් හෝ විදේශිය ආධාර මත ලැබෙන මුදල් මේ සදහා ආයෝජනය වන අතර එයට සුදුසුම යෝජනාවලියන් කි‍්‍රයාත්මක කිරීම මෙරට පාලක ව්‍යුහයේ වගකීම වේ. රට සංවර්ධනය කිරීමට මිස තව තවත් ණයබරිත රටක් කිරීමට උල්පන්දම් දීම නොකලයුතුය. එය මෙරට අහිංසක ජනතාවට මෙන්ම රටේ අනාගතයට ද ප‍්‍රබල තර්ජනයකි. සංවර්ධන ව්‍යාපෘති වු කලී නාගරිකව මෙන්ම ග‍්‍රාමීයවද සලකා බලා කි‍්‍රයාත්මක කලයුතු වැඩපිළිවෙලක් වේ. නාගරික සංවර්ධනයට පමණක් වැඩි ඉඩකඩක් ලබාදෙමින් ග‍්‍රාමීය සමාජයේ බොහෝ ගැටලූ වලට තවමත් විසදුමක් නොමැති මෙවන් වර්තමාන සමාජයක ඔවුනගේ කුසටද පහර ගසමින් වැඩිවන බඩු මිලගණන් සාධාරණ නොවෙනු ඇත. රටේ ඉහළ බලවතුන්ට නොමිලේ බෙන්ස් කාර් ලබාදීමට, විදෙස් සංචාර ලබාදීමට පෙර බොන්නට වතුර ටිකක් හරිහැටි නොමැති, ඇවිදගන්නට පාරක් නිසි ලෙස ගොඩ නොනැගුනු දුක්ඛිත ජීවීත ගත කරන දිළිදු ජනයා කෙරෙහි අවධානය යොමු කරන්නේ නම් මෙරටට ද සංවර්ධිත වු සාර්ථක වැඩපිළිවෙලක් කරා ගමන් කරවීමට බැරි නැත. අවශ්‍ය වන්නේ නිසිතැනට නිවැරදි වැඩපිළිවෙලක් යටතේ සංවර්ධන ව්‍යාපෘතීන් ආරම්භ කිරීමයි. 
         
            තමන්ට ඔටුනු පැළදවු ප‍්‍රදේශයට පමණක් සේවය කරමින් එම ප‍්‍රදේශයට පමණක් වු සංවර්ධන ව්‍යාපෘති වැඩිදියුණු කිරීමට වෙරදරන සමහරක් පාලකයින් මෙරටට සමස්ථ සමාජයටම සේවය කිරීම සදහා වගකීමෙන් බැදී සිටින බව අමතක කර ඇත. විවිධ නාමයන් පටබැදගෙන විශාල මුදල් ප‍්‍රමාණයක් යොදවා ආරම්භ කරන මෙවන් සංවර්ධන ව්‍යාපෘතීන් බොහෝමයක් අසාර්ථක මට්ටමින් කි‍්‍රයාත්මක වී ඇත. නිදර්ශන ලෙස මාර්ග සංවර්ධනයට ගෙන ආ ගල්, වැලි තවමත් පාරටම දියවී විනාශ වී යන අවස්ථා මෙන්ම අළුත්වැඩියා කරන ලද පාරවල් ටික දිනකට පසු වතුර ඉතිරියන වලවල් නිර්මාණය කිරීමට තරම් එම ව්‍යාපෘති ලාබාල වී ඇත. මෙයට ප‍්‍රධානම හේතුව එවැනි ව්‍යාපෘතීන්ට යොදවන මුදලින් වැඩිහරියක් යටිමඩි ගසාගෙන සාක්කු පුරවාගන්නා බුද්ධිමත් පාලක පිරිසක් මෙරට පාලන ක්‍ෂේත‍්‍රයට පත්වීමයි.
                
                           සංවර්ධන ව්‍යාපෘතියක් වු කලී සුදුසුමපරිදි අවශ්‍යතම ගැටලූ වලට විසදුම් ලෙස ඉදිරිපත් කරනු ලබන යෝජනාවලියන්ය. එය මුළු රටටම වැඩදායී ලෙස වගකීමෙන් යුතුව ආරම්භ කලයුතු කි‍්‍රයාපිළිවෙතකි. එනමුත් මෙරට සංවර්ධන ව්‍යාපෘති බොහෝමයක් කි‍්‍රයාත්මක වන්නේ් අවශ්‍යතාවන්ට එහාගිය අනවශ්‍යය දේ කෙරෙහිය. නාගරික මෙන්ම ග‍්‍රාමීය ගැටලූ කෙරෙහිද වැඩි අවධානයක් යොමු කරමින් රටේ තිරසාර සංවර්ධනය උදෙසා මෙම සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමත් ඒවා නිසිපරිදි අවසන් කිරීමත් උත්තුංග පාලකයින්ගේ වගකීම මෙන්ම යුතුකමකි. එය මෙරට සංවර්ධිත කි‍්‍රයාවලිය සාර්ථක දියුණුවක් කරා ගෙනයයි.

2 comments: