Wednesday, August 22, 2018



                                          සිත් වේදනා....


    කවිකාර සිත පුරා
    පෙම් හැගුම් පුරවලා
    සිත් අහස එකලූ කර
    මතකයන් තවරලා
    ආදරෙන් දුටු සිහින
    හෙමි හෙමින් බිද දමා
    හැර යන්නේ ඔබමදෝ
    මාව තනිකර සදා.....

    පපුතුරට ගුලි වෙලා
    සෙනෙහසින් ලන්වෙලා
    ගෙව්නු කාලය අපේ
                                                                                     මතක විතරක් වෙලා
                                                                                     සිහින මල් ඉරිතලා
                                                                                     අපේ දෙනෙත් නැවතිලා
                                                                                     හැම මතකයන් අපේ
                                                                                     අතීතයේ තනිවෙලා.....

Tuesday, August 14, 2018


              අවශ්‍යය තැනට නැති අපේ සංවර්ධන ව්‍යාපෘති
       


                        රටක පාලන ව්‍යුහය තුළ කරනු ලබන ප‍්‍රධාන කි‍්‍රයාවලියන් අතර සංවර්ධන ව්‍යාපෘති ප‍්‍රධාන ස්ථානයක් හිමි කර ගනී. මෙය ග‍්‍රාමීය සංවර්ධනය සහ නාගරික සංවර්ධනය ලෙස ප‍්‍රධාන අංශ දෙකක් යටතේ හදුන්වාදිය හැකිය. ජනතාවගේ මතවාදයන්ගේ උපකාරයෙන් දේශපාලන කරලියට නැතහොත් පාලක තනතුරු වලට පත්වන පුද්ගලයන් විසින් අවධානය ලබා දෙන ප‍්‍රධානම කි‍්‍රයාවලිය මෙම සංවර්ධන ව්‍යාපෘතීන්ය. දිළිදු පවුල් සංවර්ධනය, මහාමාර්ග සංවර්ධනය, ජල ව්‍යාපෘති මේ අතර විශේෂ වන අතර එවැනි සංවර්ධන කි‍්‍රයාවලියන් අවශ්‍ය තැන හෝ අනවශ්‍ය තැන කොයිහැටි වෙනත් ආරම්භ කිරීමට නම් දෙපාරක් නොසිතන නිලධාරීන් මණ්ඩලයක් මෙරට වර්තමානයේ දැකගත හැකිය. අවසානයක් නොමැති ආරම්භක මුල්ගල් ප‍්‍රධානීන්ගේ අති උත්කර්ශවත් උත්සව තුලින් තැම්පත් කළ ආකාරයත් සමාජ වටපිටාව තුල කොතෙකුත් හමුවෙයි.
                            
                     සංවර්ධන ව්‍යාපෘතියක් වු කලී රට තුල පවතින ගැටලූකාරී තත්වයන් නිරාකරණය කිරීමට ගෙනඑනු ලබන සාර්ථක කි‍්‍රයාවලියකි. ජනතාවගේ බදු මුදලින් හෝ විදේශිය ආධාර මත ලැබෙන මුදල් මේ සදහා ආයෝජනය වන අතර එයට සුදුසුම යෝජනාවලියන් කි‍්‍රයාත්මක කිරීම මෙරට පාලක ව්‍යුහයේ වගකීම වේ. රට සංවර්ධනය කිරීමට මිස තව තවත් ණයබරිත රටක් කිරීමට උල්පන්දම් දීම නොකලයුතුය. එය මෙරට අහිංසක ජනතාවට මෙන්ම රටේ අනාගතයට ද ප‍්‍රබල තර්ජනයකි. සංවර්ධන ව්‍යාපෘති වු කලී නාගරිකව මෙන්ම ග‍්‍රාමීයවද සලකා බලා කි‍්‍රයාත්මක කලයුතු වැඩපිළිවෙලක් වේ. නාගරික සංවර්ධනයට පමණක් වැඩි ඉඩකඩක් ලබාදෙමින් ග‍්‍රාමීය සමාජයේ බොහෝ ගැටලූ වලට තවමත් විසදුමක් නොමැති මෙවන් වර්තමාන සමාජයක ඔවුනගේ කුසටද පහර ගසමින් වැඩිවන බඩු මිලගණන් සාධාරණ නොවෙනු ඇත. රටේ ඉහළ බලවතුන්ට නොමිලේ බෙන්ස් කාර් ලබාදීමට, විදෙස් සංචාර ලබාදීමට පෙර බොන්නට වතුර ටිකක් හරිහැටි නොමැති, ඇවිදගන්නට පාරක් නිසි ලෙස ගොඩ නොනැගුනු දුක්ඛිත ජීවීත ගත කරන දිළිදු ජනයා කෙරෙහි අවධානය යොමු කරන්නේ නම් මෙරටට ද සංවර්ධිත වු සාර්ථක වැඩපිළිවෙලක් කරා ගමන් කරවීමට බැරි නැත. අවශ්‍ය වන්නේ නිසිතැනට නිවැරදි වැඩපිළිවෙලක් යටතේ සංවර්ධන ව්‍යාපෘතීන් ආරම්භ කිරීමයි. 
         
            තමන්ට ඔටුනු පැළදවු ප‍්‍රදේශයට පමණක් සේවය කරමින් එම ප‍්‍රදේශයට පමණක් වු සංවර්ධන ව්‍යාපෘති වැඩිදියුණු කිරීමට වෙරදරන සමහරක් පාලකයින් මෙරටට සමස්ථ සමාජයටම සේවය කිරීම සදහා වගකීමෙන් බැදී සිටින බව අමතක කර ඇත. විවිධ නාමයන් පටබැදගෙන විශාල මුදල් ප‍්‍රමාණයක් යොදවා ආරම්භ කරන මෙවන් සංවර්ධන ව්‍යාපෘතීන් බොහෝමයක් අසාර්ථක මට්ටමින් කි‍්‍රයාත්මක වී ඇත. නිදර්ශන ලෙස මාර්ග සංවර්ධනයට ගෙන ආ ගල්, වැලි තවමත් පාරටම දියවී විනාශ වී යන අවස්ථා මෙන්ම අළුත්වැඩියා කරන ලද පාරවල් ටික දිනකට පසු වතුර ඉතිරියන වලවල් නිර්මාණය කිරීමට තරම් එම ව්‍යාපෘති ලාබාල වී ඇත. මෙයට ප‍්‍රධානම හේතුව එවැනි ව්‍යාපෘතීන්ට යොදවන මුදලින් වැඩිහරියක් යටිමඩි ගසාගෙන සාක්කු පුරවාගන්නා බුද්ධිමත් පාලක පිරිසක් මෙරට පාලන ක්‍ෂේත‍්‍රයට පත්වීමයි.
                
                           සංවර්ධන ව්‍යාපෘතියක් වු කලී සුදුසුමපරිදි අවශ්‍යතම ගැටලූ වලට විසදුම් ලෙස ඉදිරිපත් කරනු ලබන යෝජනාවලියන්ය. එය මුළු රටටම වැඩදායී ලෙස වගකීමෙන් යුතුව ආරම්භ කලයුතු කි‍්‍රයාපිළිවෙතකි. එනමුත් මෙරට සංවර්ධන ව්‍යාපෘති බොහෝමයක් කි‍්‍රයාත්මක වන්නේ් අවශ්‍යතාවන්ට එහාගිය අනවශ්‍යය දේ කෙරෙහිය. නාගරික මෙන්ම ග‍්‍රාමීය ගැටලූ කෙරෙහිද වැඩි අවධානයක් යොමු කරමින් රටේ තිරසාර සංවර්ධනය උදෙසා මෙම සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමත් ඒවා නිසිපරිදි අවසන් කිරීමත් උත්තුංග පාලකයින්ගේ වගකීම මෙන්ම යුතුකමකි. එය මෙරට සංවර්ධිත කි‍්‍රයාවලිය සාර්ථක දියුණුවක් කරා ගෙනයයි.

Wednesday, August 8, 2018


පාලක නින්දේ රජ වන සමාජය බිලිගත් මත් රකුසා
  
               



                     ශ්‍රී ලාංකීය සමාජ වටපිටාවට අනුව නිතිපතා කථාබහට ලක්කරන තවමත් විසදුමක් නැති ගැටලූවක් බවට මත්ද්‍රව්‍ය පැතිරී යාම හදුන්වා දිය හැකිය. මෙම ශ්‍රී ලාංකීය මත්ද්‍රව්‍ය ගැටලූව මෑතකාලීන සංසිද්ධියක් නොවේ. කි‍්‍ර.ව. 1505 දී පෘතුගීසින් සහ ලන්දේසි හා ඉංගි‍්‍රසී ආක‍්‍රමණයන්ට ලක් වු අතර ප‍්‍රථමයෙන් පෘතුගීසි ජාතිකයින් විසින් අබිං නැමැති මත්ද්‍රව්‍ය කෑම ලංකාවට හදුන්වා දෙනලදී. අබිං වගාව සංවර්ධනය කරමින් පැතිරී යාමත් සමග ගංජා නැමැති මත්ද්‍රව්‍ය වගාවන්ද මෙරට සංවර්ධනය වීම ආරම්භ විය. මෙය පසුකාලීනව 70 දශකයේ අවසානයේ දී ඉතා ප‍්‍රබල භයානක මත් ද්‍රව්‍යයක් වන හෙරොයින් භාවිතය ආරම්භ විය. 1978 විවෘත ආර්ථීක ප‍්‍රතිපත්තියේ බලපෑම් මෙම සමාජ ගැටලූව වර්ධනයට මුලබීජ සැපයු අතර එය ක‍්‍රමයෙන් මෙරට ජනයාගේ පරිහානිය ලගා කරන්නට විය. අදවන විට එය වැඩිහිටි සමාජයට වඩා බාලවයස්කාරයින් සහ තරුණ ප‍්‍රජාව තුල ජනපි‍්‍රයතම ඇබ්බැහිය වී ඇත. විවිධ නාමාවලියන්ගෙන් හදුන්වා දෙන මත් රකුසන් අද අපේ අනාගත පරපුර බිලිගනිමින් සිටියත් එයට වගකිව යුතු පාලකයින් තවමත් නින්දත් නොනින්දත් අතර පසුවේ.
                               
                       මෙම මත්ද්‍රව්‍ය භාවිතයත් සමග සමාජ ගැටලූ රාශියක් වර්ධනය වෙමින් පවති. සිය දිවිනසා ගැනීම, මානසික විකෘතීන් මෙන්ම පවුල් ආරවුල් වලට ප‍්‍රධාන හේතුව මෙම මත්ද්‍රව්‍ය ඇබ්බැහියයි. මෙලෙස හටගන්නා කුඩා ගැටලූ අද වනවිට මුළුමහත් සමාජයටම ප‍්‍රබල තර්ජනයක් වී ඇත. දුම්බීම තරුණ ප‍්‍රජාව අතරින් වැඩි වශයෙන් භාවිතා කරන මත්ද්‍රව්‍යයක් වන අතර කොතරම් මිල ඉහල ගියත් එය මිලදි ගැනීමට පසුබට නොවන තරමට එය නැතිවම බැරි දෙයක් බවට සමාජය තුල රජ වෙමින් සිටි. කුසට අහරක් නොමැති වුවත්, තමන්ගේ පොකට් එක එම්ටි පොකට් වුවත් කුලියක් කර හෝ ලබාගන්නා මුදල හවසට මෙවැනි මත්ද්‍රව්‍ය සදහා වැය කිරීම ඛේදවාචකයකි. මුදල් නොමැති අවස්ථාවන්හි සොරකම් කිරීමට, මිනී මැරුම්, දුෂණ මංකොල්ලකෑම් වලට දෙපාරක් නොසිතා යොමුවීමට අද මෙරට සමාජය හුරුවී සිටි. මෙරට ආර්ථීකයට වැඩි බදු ප‍්‍රමාණයක් මෙම මත්ද්‍රව්‍ය ආනයනය මත ලබාගන්නා නිසා එම මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කරනවා වෙනුවට එයට වැඩි මුදලක් අයකරමින් තව තවත් මෙරට ව්‍යාප්ත කරමින් සිටි. පෝයට පමණක් වසා තබන මත්ද්‍රව්‍ය වෙළද සැල් තුලින් ඔවුන් විශාල මුදලක් සිය ආර්ථීක සංවර්ධනයට ලබාගනී. නමුත් එමගින් දිනෙන් දින විශාල වන්නේ මෙරට අනාගතය බව ඔවුන් අමතක කරන්නේ මන්දැයි ගැටලූවකි. අද වෙනත් දෙමාපියෙකුගේ දරුවකු මෙයට ඇබ්බැහි වීම ඔවුනට නොදැනෙනවා විය හැකිය. නමුත් හෙට මෙරට ප‍්‍රධාන පෙළේ බලධාරියෙකුගේ දරුවකු මෙම මත් රකුසාට බිලිවුවහොත් එදාට ඔවුනට මෙහි යථාර්තය අවබෝධ වනු ඇත. 
          
              වැඩිහිටි සමාජය තුල පමණක් නොව පාසල් භූමිය තුලටත් ප‍්‍රධාන වශයෙන් නොවැළක්විය හැකි සමාජ ගැටලූවක් බවට මෙම මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය අදවන විට හදුනා ගත හැකිය. ලෙඩ රෝග බහුල වෙමින් කෙටි ආයු කාලයක් තුල අකාලයේ මියයන මෙරට අනාගත පරපුර ගැන වගකිව යුත්තේ කවුද? කප්පන් ගන්න, හොරට සල්ලි අරගෙන යටිමඩි ගහන පාලකයින් පිරිසක් මෙරට බහුල වශයෙන් සිටින විට වගකීම් සහගත ලෙස නීත්‍යානුකූලව සිය ධුරයේ කටයුතු කරන අල්පයක් නිලධාරීන්ට මෙය වැළක්විය නොහැක. එයයි සමාජ යථාර්තය. මාසිකව ගන්නා පඩියට සරිලන ලෙසවත් මෙරට සමාජ සංවර්ධනය උදෙසා කටයුතු නොකරන පාලකයින් සිය නිලයන්ට කරන්නේ ද අගෞරවයකි. නොනිදා පුටු රත්නොකර දෑස් ඇර මෙරට සමාජය යන අගාදය දෙස විමසිලිමත්ව බැලිය යුතුය. නැතිනම් සමාජය මෙන්ම හෙට ඔබේ පවුලද මෙවැනි සමාජ ගැටලූ රැසකට මුහුණදෙයි. එම නිසා වගකීම් සහගත බලධාරීන් මතින් තොර වු යහපත් සමාජයක් ගොඩනැගීම උදෙසා හැකි උපරිම සේවය මෙරට සමාජය වෙනුවෙන් ලබාදෙනු මැනවි.

Wednesday, August 1, 2018


 තැනක් නොතැනක් නැතිව හැදෙන Data බඩගින්න
             
             


        නවීන සමාජයත් සමග උරෙන්උර ගැටෙමින් තරගකාරීව ගමන් කරන මිහිපිට මිනිසාට නවීන සන්නිවේදන මාධ්‍ය අත්‍යවශය සාධකයක් බවට පත්වී ඇත. කාල කලමණාකරනයට සහ සිය වැඩකටයුතු පහසුකර ගැනීම සදහා වැඩිදෙනෙකු මෙම නවමාධ්‍ය භාවිතයට හුරුපුරුදු වී ඇතත් එයින් කොටසක් සමාජයේ ඉහළ පැලැන්තිය යැයි වැජඹීමට දරන පුහුමාන්නයක් ලබා ගැනීම සදහා මේ නවමාධ්‍ය භාවිතයට යොමු වේ. ඒ කුමන කරුණක් හේතු සාධක කරගෙන හෝ මෙම නවමාධ්‍ය භාවිතයට ලොකු කුඩා සෑම සමාජ කණ්ඩායමක්ම යොමුවීම සුලභ පුරුද්දකි. මෙම නවමාධ්‍ය අතුරින් අන්තර්ජාල ප‍්‍රවේශය බොහෝ දෙනෙකුගේ දෛනික පුරුද්දක් වන අතර එයට අත්‍යවශය සාධකයක් ලෙස Data  හෙවත් දත්ත ලබා ගැනීම කාහටත් දැනෙන කරුණකි. Mobitel, Dialog, Airtel,   Hutch ආදී වු කුමන ආයතනයකින් වුවත් ප‍්‍රධාන අලෙවි නිෂ්පාදනයක් ලෙස Data card හදුනා ගත හැකිය. පාරිභෝගිකයා අල්ලා ගැනීමේ ප‍්‍රධාන බලවේගයක් ලෙස මෙම Data හදුන්වාදීම වර්තමාන සමාජයට අනුව පෙන්වා දිය හැකිය.  
                    අන්තර්ජාලය ඔස්සේ Facebook, Viber, Imo, Youtube, Messanger ආදී වු කුමන සමාජ මාධ්‍යයක් සලකා බැලූවහොත් මෙරට පුද්ගලයන්ගෙන් 90% පමණ මෙම එක් සමාජමාධ්‍යයක් හෝ භාවිතා කරයි. ඒ හරහා මිතුරන් සමග චැට් කිරීමට, ටෙලිනාට්‍ය සින්දු නැරඹීමට ඔවුන් වැඩි වශයෙන් යොමුවී ඇති අතර එහිදී ඔවුනගේ  මෙම අවශ්‍යතාවයන් කරගත් පුරුදු සපුරාලයි. වැඩි වශයෙන් මෙම Data  හරහා Youtube සමාජ මාධ්‍ය ඔස්සේ ටෙලිනාට්‍ය නැරඹීමට සමාජයේ බොහෝ පිරිසක් යොමු වී ඇත. වර්තමානයත් සමග බලන විට දෙවෙනි ඉනිම ඔවුනගේ ජනපි‍්‍රයතම ටෙලිනාට්‍ය වී ඇත. සමාජයේ ලොකු කුඩා කාගෙත් උන්මාදයක් වු මෙම Data ඇබ්බැහිය හදුනා ගත් බොහෝ ජනපි‍්‍රයතලයේ ගායකයින්ද සිය ගීතයන්  Youtube වැනි සමාජ මාධ්‍ය ඔස්සේ ජනපි‍්‍රය කරගැනීමට යොමුවී ඇත. තත්පරයක් වැනි සුළු කාලයක් තුලින් මෙම අන්තර්ජාල ප‍්‍රවේශයට දසලක්ෂ ජනකායක් ඇතුලත් වීම මත මෙම Data පෙරලිය සමාජ ගින්නක් බවට පත්වී ඇතිබව නොරහසකි.
                අත ඇති ස්මාර්ට් දුරකථනය මගින් අන්තර්ජාලය පුරා සැරිසැරීම තරුණ කා අතරත් ජනපි‍්‍රයම ඇබ්බැහියකි. මගතොට වුවත්, බස්රථයෙ,් දුම්රියේ යනඑන කුමන තැනක සිට හෝ තම දුරකථනය මගින් අන්තර්ජාලය පුරා සැරිසැරීමට කාගෙනුත් ඔවුනට බාධා නැත. ඇති එකම බාධකය වන්නේ ඇති පමණට DATA  ගැනීමයි. දෛනිකව මිළදී ගන්නා මෙම Data card පෙරළිය බඩගින්නට එහා ගිය කුසගින්නක් ඇති කරමින් තරුණ පිරිස් ඇබ්බැහි කරගෙන අවසන්ය. අන්තර්ජාලය පුරා සැරිසරන මෙවැනි මාධ්‍ය ලෝලීන් තම උපයන ධනයෙන් මෙවැනි පරිභෝජන කි‍්‍රයාවලියන් සදහාද හරි අඩකඩ වඩා වැඩි ප‍්‍රමාණයක් මසකට වැයකරන බව ඔවුනට මතක නැත. ඔවුන් සිතා බලනුයේ ඒ මොහොතේ තමාට පවතින අවශ්‍යතාවය පමණි. නමුත් එය තමන්ගේ පොකට් එක එම්ට් පොකට් කරනවා පමණක් නොව අනාගතයද එම්ට් පොකට් කරගන්නට පාර කපන බව මතකයේ රදවා ගතයුතුය. තමාට ඇතිවන සියලූ සිතුවිලි වලට කි‍්‍රයාකරන්නට ඉඩදී බලා සිටීම ඉදිරි අනාගතයට බලපෑමක් වේ. එම නිසා අවශ්‍යතාවන්ට සරිලන ලෙස ජීවිතය මෙන්ම ආර්ථීකයද කළමණාකරනය කර ගැනීම කාලීන සමාජයට අනුව වඩාත් උචිත වේ. 
                   අන්තර්ජාල ප‍්‍රවේශය හරහා අදවන විට විශාල කාර්යබාරයන් රැසක් පහසුකර ගන්නවා සේම එමගින් යම් විටක කාලයද ආර්ථීක මට්ටම ද ඉතිරි කරගැනීමට හැකිවන අවස්ථා නැතිවාම නොවේ. අනාගතය ගොඩනගන තරුණ කණ්ඩායම් වශයෙන් එම කළමණාකාරීත්වය ද ඉතාමත් වැදගත් වේ. නමුත් එක් එක් කූට වෙළද උපක‍්‍රමයන්ට ගොදුරු වී තම අවශ්‍යතාවන්ට එහාගිය ඇබ්බැහිකම් මෙම අන්තර්ජාලය හරහා එකතු වේ. එයට හොදම නිදර්ශනය වන්නේ  Youtube  ඔස්සේ ටෙලිනාට්‍ය නැරඹීමට හුරුවීමයි. පසුගිය ටෙලිනාට්‍ය කොටස් පවා නැවත නැවත නැරඹීමට ඔවුන් හුරුපුරුදු වී අවසන්ය. නමුත් එවැනි දේ කෙරෙහි ඇබ්බැහි වීම මත නැතිවම බැරි අවශ්‍යතාවක් බවට පත්වේ. එමගින් මෙහොතකට වින්දනාත්මක රසයක් පමණක් තමාට ලැබෙන අතර ව්‍යාපාරික ධනවතුන් පොහොසත් කිරීමට නම් හැකියාව ලැබේ. එම නිසා මේ ගැන කල්පනාකාරීව සිතා බැලිය යුතුය. තැනක් නොතැනක් නැතිව හැදෙන Data කුසගින්න සංසිදු වීමට වඩා තමන්ගේ අනෙකුත් අවශ්‍යතාවන් වෙනුවෙන් කටයුතු කිරීමට හුරුපුරුදු වීම අද ගොඩනගන හෙට අනාගතය සුභදායික වනු ඇත.

Tuesday, July 31, 2018


කටට එන සෑම වචනයක්ම ඔබත් කියවනවාද?





                            මානව සමාජයේ පරිවර්තනීය කාලය දෙස නැවත හැරි බලන විට මානවයාගේ පරිවර්තනය ක‍්‍රමක් ක‍්‍රමයෙන් සිදුවීමත් සමග දියුණු මානවයාගේ ආරම්භය සිදුවිය. පසුකාලීනව මානවයාගේ දියුණු මොළයෙහි වර්ධනයත් සමග එකිනෙකා අතර අදහස් හුවමාරු කර ගැනීමේ කි‍්‍රයාවලිය නිර්වාචිකව සිදුකලහ. නමුත් අනෙකුත් සත්වයින් අතර මානවයාට දියුණු මොළයක් හිමිවීම හේතුකරගෙන ඔහු දිනෙන් දින දියුණුවන මොළයක් ඇති සත්වයකු බවට පත්විය. මෙහි පරිවර්තනයක් ලෙස මානවයාගේ වාචික සන්නිවේදනය භාෂාවේ පරිවර්තනයත් සමග අවශ්‍යතාවයන් මුලික කරගෙන වාචිකව සන්නිවේදනය කලහ. මෙම වාචික සන්නිවේදනයේ පරිවර්නයත් සමග යහපත් දේ මෙන්ම අයහපත් දේ ප‍්‍රකාශ කිරීමට වචන භාවිතා කිරීම සිදුවිය. විවිධ විද්වතුන් මේ පිළිබද විවිධ ලෙස අර්ථදැක්වීම් සිදුකලහ. වචනයකින් කලහැකි බලපෑම ඉතාමත් ප‍්‍රබලය. ආයුධයකින් එල්ල කල නොහැකි ප‍්‍රහාරයක් වචනයකින් එල්ල කල හැකිබව බොහෝ විද්වතුන් පිළිගන්නා කරුණකි. බුදුදහමට අනුව මෙම වචන හිස් වචන සහ පරුෂ වචන ලෙස අහිතකර වචනයන් පිළිබද විග‍්‍රහ කර ඇත.
       
                               වැඩිහිටි තරුණ කුඩා සමාජ කණ්ඩායම් මෙම වචන භාවිතයේදී  යහපත් මෙන්ම අයහපත් වචන භාවිතය සිදුකරයි. කටට එන  ඕනෑම වචනයක් ප‍්‍රකාශ කිරීමට හුරුපුරුදු වී සිටින තරුණ පිරිස් මේ අතර විශේෂිතය. දැනුවත්ව හෝ නොදැනුවත්ව කටින් පිටකරන මෙම වචන පිළිබදව අවබෝධයෙන් ප‍්‍රකාශ කරන්නේ එයින් සුළු පිරිසකි. නමුත් වචනයකට කලහැකි බලපෑම පිළිබදව අප සැලකිලිමත් වියයුතුය. සමාජයේ විවිධ කණ්ඩායම් අතර ජීවත්වන පිරිසක් වශයෙන් ඒ පිළිබද සැලකිලිමත් වීම ඉතාමත් වැදගත්ය. මන්ද පුද්ගලයෙකු ප‍්‍රකාශ කරන එක් චචනයකින් පුද්ගල ප‍්‍රසාදයට මෙන්ම අප‍්‍රසාදයට ලක්වීමටද ඉඩකඩ පවති. සමාජයේ ජීවත්වන තරුණ කණ්ඩායම් මේ පිළිබද දක්වන්නේ අඩු උනන්දුවකි.

                තමන්ගේ කටින් පිටකරන සෑම වචනයක්ම පිටකිරීම සාමාන්‍යය අපගේ පුරුද්දකි. එයින් තමන්ගේ මෙන්ම අනෙක් පුද්ගලයන්ගේද මනසට හානියක් නොවන ආකාරයේ වචන විය යුතුය. කටක් උපතින්ම තිබු පමණින් කටට එන හැම වචනයක්ම දෙඩවීම යහපත් නොවෙනු ඇත. නමුත් තරුණ පිරිස් අදවන විට බොහෝ වචන දොඩවන්නේ හේතුවකින් තොරවය. රැල්ලට යන වචන වලින් සිත්පුරවා ගත් බොහෝමයක් තරුණයින් ප‍්‍රකාශ කරන එම වචන බුදුදහමට අනුව හදුන්වාදී ඇති හිස් වචන හා සමානය. එමගින් වැඩිහිටියෙකුට වුවද ගෞරවයෙන් යුතුව කථාකලයුතුයි යන මානසිකත්වය බිදියයි. මාධ්‍යකරණය සමග කුඩා ළමයාගේ සිට වැඩිහිටි තරුණ පිරිස් අතරට ජනපි‍්‍රය සංස්කෘතියේ වචන එකතු කරමින් සංස්කෘතිකමය වශයෙන් බිහිවී තිබු අපේ සංස්කෘතිකව රැුකුන භාෂාව පරිහානියකට පත්කරමින් පවති. සිංගී‍්‍රසි කලාවක් එකතු කරමින් සිංහලත් නොවන ඉංගී‍්‍රසිත් නොවන වචන භාවිතය අද ජනපි‍්‍රයම කලාවකි. මෙවැනි විවිධ භාෂා රටාවන් දවසින් දවස අපේ කටවහරට එකතු වීම අරුමක් නොවනු ඇත. නමුත් තමන් පිටකරනු ලබන වචන නිවැරදිව භාවිතා කිරීමට පුරුදුවීම ඉතාමත් වැදගත්ය. මන්ද කුඩා දරුවෙකු වුවත් සිය භාෂාව හසුරුවා ගන්නේ වැඩිහිටියන් දෙස බලාය. අනාගත පරපුර නිවැරදි භාෂා උච්චාරනයක් හුරුකරවීමට නම් මුලින්ම වර්තමාන පරපුර නිවැරදිව හසුරවා ගත යුතුය. කටමැලියාවට දොඩවන්න එපා කියලා බොහෝ වැඩිහිටියන් නිතරම ප‍්‍රකාශ කරන්නේ වචන වල පවතින සුදුසුනුසුදුසු බව දන්නා නිසාය. එම නිසා අප නිතරම කථාකරන විට හොදින් සිතාබලා ප‍්‍රකාශ කිරීම තමන්ට මෙන්ම අනෙකාටද වැදගත් වේ.
      
                       යම් අවස්ථාවක වචනයකට කල හැකි මෙහෙවර ඉතාමත් ඉහළය. යම් පුද්ගලයෙකුට සැනසිමට ඇති එකම දේ තවකෙකුගේ වචනයන් විය හැකිය. යමෙකු මානසිකව පීඩා විදින විට ඔහුට ඇති එකම සැනසීම තවකෙකුගේ සිත සැනසෙන වචනයන්ය. එවැනි අවස්ථා ජීවිතයේ  ඕනෑ තරම් අපට මුණගැසී ඇත. සතුට මෙන්ම දුක ප‍්‍රකාශ කිරීමට බොහෝ පුද්ගලයන් භාවිතා කරන එකම දේ වචනයි. තවකෙකුගේ කටින් පිටකරන වචන අසන තවකෙකුට සිතට සහනයක් විය හැකිය. එමනිසායි දුකක් දැනුන  අවස්ථාවක අප එය තවකෙකුට ප‍්‍රකාශ කර සිතට සහනයක් ලබා ගැනීමට උත්සහ කරන්නේ එම නිසාය. තරුණ පිරිස් අතර මෙය දැකගත හැකි සුලබ කරුණකි. තමන්ගේ යහළුවන්ට සිය සිතේ තියන පීඩාවන් දුක ප‍්‍රකාශ කර ඔවුන්ගෙන් සැනසුම් ප‍්‍රකාශ බලාපොරොත්තු වේ. එම නිසා තරුණ අපට මෙම වචන භාවිතයේදී විශාල මෙහෙවරක් ඉටුකරයි. මන්ද ජීවිතයේ මානසිකව පීඩාවිදින කොටස් අතුරින් තරුණ පිරිස් ඉහලින්ම සිටින කොට්ඨාශයක් වීමයි. නමුත් එවැනි මානසික පීඩාවන්ගෙන් සිටින විට තවෙකෙකුගේ මෙම වචන ජීවිතයට හානිකර තත්වයන්ද ඇති කරවයි. එවැනි වචන ප‍්‍රකාශයන් නිසා ජීවිත හානිකරගත් බොහෝ තරුණ පිරිස් පිළිබද සිදුවීම්ද අපට අසන්නට මෙන්ම දකින්නටද ලැබෙයි. එම නිසා වචන භාවිතයේදී ඉතාමත් කල්පනාකාරී විය යුතුය. මන්ද තරුණ පිරිස් යනු ආවේගකරව තීරණ ගන්නා පිරිසක් නිසා යමෙකුට ප‍්‍රකාශයක් කිරීමේදී කල්පනාකාරිව ප‍්‍රකාශ කිරීමට කල්පනාකාරී වියයුතුය.
     
                   කට තිබු පමණින් කටට එන සියලූ ප‍්‍රකාශයන් පිටනොකර අවබෝධයෙන් යුතුව වචන භාවිතා කිරීමට සෑම පුද්ගලයෙකුම කල්පනාකාරි වියයුතුය. එය ඔබට මෙන්ම අනෙකාටද හානිකර නොවන්නේ එවිටය. එම නිසා අවේගකරව තීරණ ගන්නා පිරිසක් ලෙස තරුණ පිරිස් සිය කටින් පිටකරනු ලබන වචන පිළිබද හොදින් අවබෝධ කරගෙන ප‍්‍රකාශ කිරීම බොහෝ ගැටලූකාරී තත්වයන් මගහරවා ගැනීමට උපකාරී කරගත හැකිය. රැල්ලට යන ජීවිතයට ගසාගෙන යන්නට නොදි තමාගේම පෞර්ෂත්වයෙන් ජීවිතය දකින්නට උත්සහ කරමු. එය ඔබට මෙන්ම ඔබ අවට සිටින පිරිසද යහපත් මාර්ගයක ගමන් කරවයි. කට තිබු පමණින් සෑමවිටම දොඩවන්නට පුරුදු නොවී තරුණ පිරිසක් වශයෙන් සංයමයකින් යුතුව හොදින් සිතාබලා වචන ප‍්‍රකාශ කිරීමට සෑම අවස්ථාවකම උත්සහ කරමු. එය ඔබට මෙන්ම අනෙකාටද සිතට සහනයක් එකතු කරයි. ජීවිතය පීඩාවකින් තොරව සියලූදෙනා සමග සහයෝගයෙන් කටයුතු කිරීමට අවස්ථාව එමගින් උදාකරයි. 

Friday, July 27, 2018


                                           කතුවැකි භාෂාවට ආරම්භයක්

                             

                     


        සන්නිවේදන ඉතිහාසයේ දියුණුවෙමින් පැමිණි මාධ්‍ය අතර වැඩි ජනතාවකගේ ප‍්‍රසාදය හිමි වී ඇති මාධ්‍යයක් ලෙස පුවත්පත හදුනාගත හැකිය. ගුටෙන්බර්ග් විසින් මුද්‍රණ යන්ත‍්‍රය සොයා ගැනිමත් සමග පුවත්පතේ ආරම්භය සිදුවිය. පති‍්‍රකා වශයෙන් ආරම්භ වී පසුව පුවත්පත දක්වා වැඩි දියුණු විය. මේ ආදී ලෙස පුවත්පත් කලාවේ පරිවර්තනීය ස්වභාවයක් ක‍්‍රමක්ක‍්‍රමයෙන් සිදුවිය. ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත මගින් පුවත්පත අර්ථකතනය කැර ඇත්තේ ”පොදු පුවත්, ආරංචි හෝ සිදුවීම් ඇතුළත් කොට ශි‍්‍ර ලංකාවේ මුද්‍රණය කරනු ලබන හෝ පළ කරනු ලබන  පුවත්පත සිය නිර්මාණ හරහා සමාජ යථාර්තය පරාවර්තපත‍්‍රයක්  යනුවෙනි. ” පුවත්පත් මාධ්‍යවේදය සතු නිර්මාණාත්මක ප‍්‍රවර්ග වන ප‍්‍රධාන ශීර්ෂ පාඨ, උපශීර්ෂ පාඨ, කතුවැකි, වාර්තා, විචාරාත්මක ලිපි, තීරු ලිපි, ඡුායාරූප වාර්තා, කාටුන් ආදී බහුවිධ වු විශේෂාංග ස්වරූප හරහා විෂය මුලික ලෝකය කෙරෙහි සුවිශේෂ වු සබදතාවක් ගොඩ නැගෙන අතර එහි ප‍්‍රතිඵලයක් වශයෙන් සුවිශේෂි වු, අනන්‍ය වු සමාජ යථාර්ථයක් ගොඩ නැගෙන්නේය. මෙහිදී පුවත්පතක සුවිශේෂී වු භාෂා ශෛලියක් කතුවැකි භාෂාව තුලින් ඉදිරිපත් කරයි. පුවත්පතේ කතුවරයාගේ ප‍්‍රධාන ලියවිල්ල ලෙස ද හදුනාගත හැකි මෙම කතුවැකිය පුවත්පතට සුවිශේෂිත්වයක් එකතු කරයි. 
                                   
            කතුවැකි භාෂාව පිළිබදව සලකා බැලිමේදී කතුවරයාටම විශේෂිත වු ශෛලියක් අනුගමනය කරයි. කතුවැකි තීරුවක් යනු කුමක්දැයි හදුනා ගැනිමේදී එය පුවත්පතේ අනන්‍යතාව ප‍්‍රකට කරන ලියවිල්ල ලෙස සරලව හැදින්විය හැකිය. සමකාලීන සමාජ දේශපාලන ප‍්‍රස්තූතය පිළිබදව පුවත්පතේ දෘෂ්ටිය කතුවැකියෙන් විද්‍යාමාන වේ.මෙය කතුවරයාගේ වාක්‍ය ලෙසද සරලව හදුන්වයි.
           
        ”යම් අයුරකින් මුද්‍රණය කර ප‍්‍රකාශයට පත් කරන පුවත්පතක හෝ සඟරාවක ජ්‍යෙෂ්ඨ කතුවරුන් විසින් සිය මතය දක්වන කොටස කතුවැකිය වශයෙන් හැදින් වේ.”
                                                               (විකිපීයා විශ්ව කෝෂය )
         
                             මෙම කතුවැකිය පිළිබදව විවිධ මතදාරීන් විවිධ ලෙස අර්ථ දක්වා ඇත. කතුවැකිය පල කරන පිටුව කතුපිටුව ලෙස හදුන්වන අතර වචන 600-700 අතර ප‍්‍රමානයකින් රචනා කරයි. කතුවැකිය පුවත්පත් කලාවේ ආරම්භයේ සිට සම්මතව පැවත එන සාම්ප‍්‍රධායික ලේඛන විශේෂයකි. ජාතික පුවත්පතක ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය හෝ සමාජ දාෂ්ඨිය හෙලි කරන්නේ කතුවැකියෙනි. ප‍්‍රංශ ජාතික ඇල්බයා කැමු විසින් ප‍්‍රකාශ කර ඇත්තේ කතුවැකියක අඩංගු විය යුත්තේ එක් අදහසක් සහ උදාහරණ දෙකක් පමණක් බවයි. මෙවැනි විශේෂත්වයක් ඇති කතුවැකි පුවත්පතේ ගමන් මාර්ගය ජනතාව හදුනා ගත්තේ එහි පලවුන විශිෂ්ඨ ගණයේ කතුවැකි ඔස්සේය.

               මෙහිදී වැඩි ජනතාවක් කතුවැකි සදහා ආකර්ශනය කර ගැනීමට එයට යොදා ගන්නා ලද භාෂාව ප‍්‍රබල බලපෑමක් විය. නිර්මාණශිලී වු රසවත් භාෂා ශෛලියක් මෙන්ම ව්‍යාකරණමය භාෂා ශෛලියක් ද බොහෝ කතුවැකි රචනයේදී භාවිතා කරන බව විවිධ පුවත්පත්හි කතුවැකි තුලින් දැකගත හැකිය. විවිධ සමාජ ප‍්‍රශ්නයන් මෙන්ම එදිනට විශේෂිතම ප‍්‍රවෘත්තිය උදෙසා කතුවරයා  සිය අදහස හා මතවාදය කතුවැකිය තුලින් ඉදිරිපත් කරයි. එම නිසා පුවත්පතේ ගමනාන්තය කුමනාකාර දැයි වටහා ගැනීමට කතුවැකිය තුලින් පාඨකයාට කරුණු සපයයි. පුවත්පතේ මැද පිටුවක බොහෝ විට අන්තර්ගත කරන මෙම කතුවැකිය පුවත්පත් පාඨකයින් අතර ජනපි‍්‍රයම ලිපියක් ලෙසද හැදින්වීම වැරදි නැත.
         
                                 කවර කතුවැකි නිර්මාණකරුවේකුට වුව ද තම සමාජයේ කවර හෝ බලවේගයන්ගෙන් මිදිය නොහැකි වන්නේ ජාති , ආගම් , පංති භේද ආදී වශයෙන් සමාජ ආයතන තුල මිනිස් කි‍්‍රයාකාරකම් දෝලනය වන බැවිනි. පුවත්පත් මාධ්‍ය සම්බන්දයෙන් විවිධ කතුවරුන් පොදුවේ කෘති ගණනාවක් රචනා කර ඇති අයුරු එහි ඉතිහාසය අධ්‍යයනය කිරිමේන් දැක ගත හැකි වේ. සෑම පුවත්පතකම විශේෂාංග වලින් සමන්විත වන අතර කතුවැකිය එම විශේෂාංග අතුරින් පලකරනු ලබන ප‍්‍රදාන විශේෂාංගයකි. මෙරට කතුවරුන් විවිධ අවස්ථාවන්හි දී කතුවැකිය යන්න අර්ථ ගන්වා තිබේ. එම අර්ථ ගැන්වීම් අනුව කතුවැකි පිළිබද මුලික අවබෝධයක් ලබා ගත හැකිය. නමුත් කතුවරයාට විශේෂිතව එම අර්ථ ගැන්වීම් තුල  විවිධත්වයක් මේ පිළිබද පවතින අර්ථදැක්වීම් අනුව පැහැදිලි වේ.
       
               පුවත්පතක කතුවැකියක් රචනයේ දී එය ආවාට ගියාට කල නොහැකිය. කතුවැකියක් රචනා කරන කතුවරයාට ලේඛනය පිළිබද මුලික අවබෝධය පැවතීම වැදගත් වේ. සාර්ථක ලේඛනයක් බිහි වීමටනම් රචකයාට සමාජය පිළිබද ,පුද්ගල හැසිරිම් රටාව පිළිබද මුලික අවබෝධයක් පැවතිය යුතුය. මෙය කතුවැකි රචකයෙකුට ඉතා වැදගත්ය. කතුවැකිය පාඨකයාට ග‍්‍රහනය කර ගන්නා අයුරින්, අදහසක් ලැබෙන පරිදි, නීරස නොවන හා පණිවිඩයක් දියහැකි පරිදි රචනා කලයුතුය. පුවත්පත් කතුවරයා පිටු ගණනාවකින් කිවයුතු දේ ලඝු කොට ගැඔුරින්, අර්ථවත් අයුරින් නිර්මාණාත්මක සන්නිවේදනය හරහා පාඨකයා වෙත ලබා දීමක් අද දැකිය හැකිය. තීරු ලිපිකරුවා ද කතුවැකි රචකයා හා සමානවම ආර්ථික , සමාජීය , සංස්කෘතික , දේශපාලනමය පදනම් කොට ගෙන තීරු ලිපි රචනා කලද එය කතුවැකියට සාපේක්ෂව වඩාත් නිර්මාණාත්මක ලියවිල්ලක් ලෙස පුවත්පතේ ඉදිරිපත් කරනු  ඇත. වර්තමාන මාධ්‍ය භාවිතය තුල නිර්මාණශීලි බව විද්වතුන්ගේ මතවාදයන් අනුව පැහැදිලි වේ. ඒවා නම් රචනාවට මාතෘකා වු විෂය ගැන හොදින් සිතා බැලිම , දෘෂ්ටිකෝණයේ ස්ථාවර බව , වේගවත්ව කලම්බනයට පුළුවන්කම තිබීම , සම්බාවනීයභාවය හා අධිකාරීභාවයක් තිබීම යනාදිය එයින් කිහිපයක් ලෙස හදුනාගත හැකිය.
        
                             වර්තමාන තාක්ෂණික දියුණුවත් සමග පුවත්පත් අතර ඇත්තේ තරඟයකි. මේ නිසා එක් එක් පුවත්පත් වල කතුවැකි නිර්මාණයේ දී රචකයා යොදා ගන්නා භාෂාවේ ද වෙනස්කම් පවතී. රචකයා හැමවිටම උත්සහ දරන්නේ වැඩි පාඨක පිරිසක් ග‍්‍රහනය කරගත හැකි පරිදි කතුවැකි නිර්මාණය කිරීමටයි. එවිට අළුත් පාඨක පිරිසක් නිරතුරුවම පුවත්පත වටා රැස්කර ගැනීමට කතුවැකි රචකයාට අවස්ථාව ලැබෙනු ඇත. සන්නිවේදන මාධ්‍ය පිළිබදව පොදුවේ පොත්පත් රැසක් පාඨකයා වෙත ලැබී තිබුණත් පුවත්පත් කතුවැකිය පිළිබදව ලියැවී ඇත්තේ ඉතා අඩු කෘති සංඛ්‍යාවකි. ඒ අනුව බලන විට පුවත්පත් මාධ්‍ය පිළිබදව වර්තමානයේ දක්වන අවධානය හීන වී ඇත්දැයි ගැටළු පැන නගී.  ඕනෑම ලේඛකයෙකු සෑම විටම යමක් ලියන්නට ගන්නේ තමන්ට ප‍්‍ර‍්‍රයෝජනයක් ඇත්නම් පමණි. නමුත් කතුවැකි රචකයාට එයට එහා ගිය අරමුණක් පවති. යම් දෙයක් පාඨකයාට ලබා දීම මුලික කරගනි. නමුත් කතුවැකි රචනා කරන කතුවරයා සිය පෑනෙන් කරනු ලබන සමාජ බලපෑම පිළිබදව එක් වරක් නොව දසවතාවක් සිතා බලා රචනා කරන්නේනම් එය උසස් ගණයේ ලිපියක් වනු ඇත. 
           
                    පුවත්පතක කතුවැකියේ භාෂා ලක්ෂණ පිළිබදව සලකා බැලීමේදී සම්මත වියරණ නීති නොබිද, පොදු ජන බසින් ලිවීම වැදගත් වන අතර යමක් ලියන විට ඇතුලාන්තයෙන්ම ලිවිය යුතුය. ව්‍යාජ ලියවිල්ල නගන්නේ හිස් හඩකි. එය පුහු පොලයකි. පුහු පොලේ බිදෙන විට ඇසෙන උස් හඬ බොහෝ හිස් රචනාවලින් ද ඇසේ. අව්‍යාජ ලියවිල්ල හුදු ඇත්ත මිහිරිය. ජන විඥානය හැසිරවීමේ, සසල කිරීමේ සවිය ඇත්තේ එයටය.  ලෙස  දෙනගම සිරිවර්ධන කතුවරයා පුවත්පත් විශේෂාංග රචනය නම් පොතෙහි සදහන් කර ඇත. අවිඥානයෙන් ලියන කතුවරයාගේ කතුවැකිය ඉහත පුහුපොලය මෙනි. පාඨකයාගේ හදවතට කථා කළ හැකි භාෂාවක් කතුවැකියක පැවතිය යුතුය. බී.ඒ.සිරිවර්ධන නිර්මාණකරු වු  කලි පාඨකයාගේ හදවතට කථා කල මානව පේ‍්‍ර්මීන් ඇසුරු කළ පුද්ගලයෙකි. මේ ආදි වු නිර්මාණශීලි භාෂාවක් සහිත කතුවැකිය සාර්ථක සමාජ මෙහෙවරක් ඉටු කරයි.  
             
                                පුවත්පතේ ආරම්භක අවධියේ සිට අන්තර්ගත කරන මෙම කතුවැකිය පුවත්පතට නව මාවත් එලිකලහ. ප‍්‍රහාරය එල්ල කළයුතු අවස්ථාවක කතුවැකිය ප‍්‍රධාන අවිය බවට පත් කරගත් අවස්ථාවන්ද මෙම කතුවැකි ආගමනයේදී හදුනාගත හැකිය. පුවත්පතක අනෙකුත් ලිපි වලදී විශේෂත්වයක් ගන්නා මෙම කතුවැකිය සෑම පුවත්පතකම වැදගත්ම අදහස් ප‍්‍රකාශනය ලෙස හැදින්විය හැකිය. කතුවරයාගෙන් කතුවරයාට වෙනස් භාෂා ශෛලියක් භාවිතා කරන මෙම කතුවැකි භාෂාව නිවැදිව මෙන්ම නිර්මාණශීලිව භාවිතා කිරීමට සෑම කතුවැකි රචකයෙක්ම අවධානය යොමු කරන අතර එය පුවත්පතේ ඉදිරි ගමනාන්තර තීරණය කරන තීරකය ලෙසද හැදින්විය හැකිය. ඒ අනුව පුවත්පතක අන්තර්ගත අනෙකුත් ලිපි අතර කතුවැකියට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයක් බව පැහැදිලි කර ගත හැකිය. 

Thursday, July 26, 2018



                  සල්ලි දී සිරවෙන තාරුණ්‍යයේ සිරකූඩුව
                     
               

     

          තාරුණ්‍යය ජීවිතයේ සුන්දරතම කාලසමයයි. ඒ සුන්දරත්වයට අපි සියලූ දෙනා ඇලූම් කරන අතර ඒ කාලයේ මිහිරියාව විඳින්නට සියලූ දෙනාට පවතින්නේ දැඩි ආශාවකි. එසේම තරුණ ජීවිතයේ බොහෝ දේ සදහා ඇලූම් කරන්නේ එම ආශාවන් මත ගොඩනැගෙන සිතුවිලි මුලිකවය. මේ අතුරින් තාරුණ්‍යයේ උන්මාදයක්ව පවතින ස්මාර්ට් ෆෝන් තරුණ ලොව තුළ රජ කරමින් වර්ධනය වෙමින් පවතී. තාරුණ්‍යයේ සිහින අතුරින් කවුරුත් සැබෑ කර ගන්නට වැර දරන එක්තරා සිහිනයකි මිල අධික නවීනතම දුරකථනයක් හිමිකර ගැනීම. තමාටම කියා අධික මුදලක් වියදම් කරමින් ජංගම දුරකථනයක් මිලදී ගැනීමට තරුණ පිරිස් අදවන විට යොමු වී ඇත.  සන්නිවේදන කි‍්‍රයාදාමයත් සමග ගමන් කිරීමේදී ජංගම දුරකථනයක අවශ්‍යතාවය මතුවීම අරුමයක් නොවේ. එනමුත් එම අවශ්‍යතාවන්ට එහාගිය උන්මාදයක් මෙම ස්මාර්ට් ෆෝන්  පෙරළිය තරුණ කණ්ඩායම් අතර වඩවාලමින් පැමිණ ඇත. එකිනෙකා සමග සහසම්බන්දතාවයන් ගොඩනගා ගැනීමේ අවශ්‍යතාවය මත පැමිණි ජංගම දුරකථනය ජීවිතයේ පැවැත්මට අවශ්‍ය වු අත්‍යවශ්‍යම උපාංගයක් වී ඇති බව තරුණ පිරිස දකින කවරෙකුට වුවද පසක් කරගත හැකිය.
                       
                                      වර්තමානයේ බොහෝ තරුණ පිරිස් විවිධ මාදිලියේ ජංගම දුරකථන මිලදී ගැනීමේදී ප‍්‍රධාන වශයෙන් බලාපොරොත්තු වන්නේ දුරකථනයෙන් ඡුායාරූප ලබාගැනීමට සුපැහැදිලි කැමරාවකි. සෙල්ෆි මාෆියාව මේ අතුරින් ඉහලම ස්ථානයක සිටින අතර තරුණ විලාසිතාවන් අතර ජංගම දුරකථනයද එක්වෙමින් පවති. විවිධ ඇදුම් පැළදුම් මිලදී ගෙන හැඩ පෙන්වීමට, මැක්ඩොනල්ඞ්, KFC වැනි ඉහල පංතියේ පිළිගැනීම් වලට ලක්වන ස්ථානයන්ට ගියවිට උද්දාමයෙන් සෙල්ෆියක් ගෙන අන්තර්ජාලයට මුදාහැරිමට තරුණ පිරිස් දෙවරක් නොසිතයි. එනමුත් ඒ පිටුපස ඇති හානිකරබව නම් අමතක කරමින් සිටි. පසුගිය කාලය තුල මේ සදහා සිදුවීම් ගණනාවක් සාක්ෂි දරයි.
           
                 තැන නොතැන බලා සෙල්ෆි උන්මාදයෙන් කි‍්‍රයාකිරීමට ගොස් සිය තරුණ ජීවිත අහිමි කරගත් සිදුවීම් තරුණ පිරිස් අතර එක්තරා සිදුවීමක් පමණක්ම වී ඇත. දුම්රියක ගමන්කරමින් සිටින අවස්ථාවේ සෙල්ෆි ගැනීමට ගොස් ජීවිතය අහිමි වු විදේශීය තරුණිය මෙන්ම තවත් විවිධ සිදුවීම් තුළින් අකාලයේ ජීවිතය අහිමි කරගත් සිදුවීම් අපිට දකින්නට මෙන්ම අසන්නටද ලැබුනි.ඒ කුමන සිදුවීමකින් වුවද තරුණ පිරිස් උගතගෙන ඇති පාඩමක් නම් දකින්නට නැත. සෙල්ෆි යනු ජංගම දුරකථනයේ තරුණ පිරිස් ලබන එක් වින්දනයක් පමණි. මුහුණුපොතේ සැරිසැරිමටද වැඩිදෙනෙකු භාවිත කරනුයේ ජංගම දුරකථනයයි. අතඇති ජංගම දුරකථනය තැනක් නොතැනක් බලා අතට ගන්නා යෞවනයන් දෑගිලි හසුරවා විගසින් පිවිසෙන්නේ මුහුණුපොතටය. දවසකට එකවතාවක් හෝ මුහුණුපොත තුල සැරිසැරීමට නොහැකි වුයේ නම්  කෑවේ නෑ වැනි හැගීමක් තාරුණ්‍යයේ පසුවන්නන් තුල ඇතිවේ. මෙහි සීමාමායිම් වලින් තොරව සැරිසැරීම නිසා එහි යටගික භයානකත්වය ඔවුනට නොපෙනේ. අවසානයේ ජීවිතයේ විනාශ මුඛයට ඇදවැටෙන තුරු එහි යටගියාව ඔවුනට අවබෝධ නොවෙනු ඇත. ”අතඇති ජංගම දුරකථනය තමන්ගේ නම් කවරෙකුගේ බාධාවක්ද” යන සිතුවිල්ල ඔවුන් තුලින් මතුවේ. නමුත් අතඇති එම උපකරණයේ ප‍්‍රමාණයට එහා ගිය යහපත් මෙන්ම අයහපත් කාර්යයන් රැසක් මිශ‍්‍රවීමක් ලෙස පවතින බව අමතක නොකල යුතුය.  
                         
                                       වර්තමාන සමාජය තුල තරුණ කණ්ඩායම් තුල පරිකල්පනීය ශක්තිය හීනවීමට ප‍්‍රධාන සාධකය ලෙස ජංගම දුරකථන භාවිතය හැදින්විය හැකිය. අද සිටින බොහෝ තරුණ පිරිස් දවසින් හරි අඩකටත් වඩා ගතකරනුයේ ජංගම දුරකථනයේ සැරිසැරීමටය. එම නිසා යමක් සිතාබලා කලනොහැකි තත්වයක් ඇතිවී ඇති අතර තරුණ පිරිස්හි සිතීමේ ශක්තිය මොටකරමින් පවතී. මහ මාර්ගයක, බස් රථයක, දුම්රිය පොළක ආදී කුමන ස්ථානයක වුවද දකින්නට ලැබෙන්නේ වයර් දෙකක් කන් දෙකට ගසාගෙන අසිහියෙන් මෙන් ගමන් කරන තරුණ පිරිසකි.ඔවුන් සිටින්නේ ඔවුනගේ ලෝකවලය. අවට කුමක් සිදුවුවත් ඔවුනට එය අදාල නැත්තා සේ ගමන් කරයි. අවට සිටින්නේ කවුද, කුමනාකාර පුද්ගලයන්ද ඔවුනට වැටහීමක් නොමැත. කථාබහකින් තොරව බිරන්තට්ටු වී දුරකථනයට යටවෙමින් ගමන් කරන ඔවුනට සිහි ඇත්තේ ජංගම දුරකථනයෙන් මවන සිහින ලෝකයට පමණි. එනමුත් එයින් වන කායික මෙන්ම මානසික ආබාධයන් පිළිබද වැටහීමක් නොපවතී. මොලයේ කි‍්‍රයාකාරීත්වය අකර්මණ්‍ය වීම මෙන්ම ශ‍්‍රවණාබාධයන්ට ප‍්‍රධාන හේතු සාධතය වන්නේ ජංගම දුරකථන භාවිතයයි. තරුණ සිත් තුල ඇතිවන නිර්මාණශීලි ආකල්පයන් හීනවී පරිකල්පන ශක්තිය මොට කරමින් දුරකථනයට යටවන හීනමානයන් ඔවුන් තුළ ගොඩනැගෙමින් පවති. මෙය කොතරම් යෞවනයන් අතර ග‍්‍රහනය වී ඇද්දැයි පැවසුවහොත් ඇදුම් අදින්නට අමතක වුවත් දුරකථනය අමතක නොකිරීමට තරම් මානසික පරිසරටයක් නිර්මාණය වී ඇත.
               
                                          වේලාවක් කලාවක් නොමැතිව බොහෝ අවස්ථාවන්හි අනවශ්‍ය දේ සදහා දුරකථනය භාවිත කරමින් අපතේ හරිනු ලබන කාලය ඔවුනගේ ජීවිතයට නැවත ගැනීමට නොහැකි බව තරුණයින් මතකයේ රදවා ගැනීම වැදගත් වේ. මෙය ඔවුනගේ අනාගත ජීවිතයටද තර්ජනයකි. රැුල්ලට යන දුරකථන මාදිලියන්ට යට නොවී අවශ්‍ය සන්නිවේදන අවශ්‍යතාවයන් සපුරා ගන්නේ නම් පවතින තත්වයන්ට වඩා ඔවුනගේ අනාගතය සුපැහැදිලි වනු ඇත. ජීවිතයේ වැදගත්ම කාලය ලෙස තාරුණ්‍යයේ පසුවන සමය හැදින්විය හැකිය. අධික මුදලක් වියදම් කරමින් ගත් ස්මාර්ට් දුරකථනය තරුණ ඔබගේ ජීවිතය නොකරගෙන යථාර්තය දෙස දෑස් විවර කල බැලීමට උත්සහ කලහොත් එය ඔබගේ ජීවිතයේ එක්තරා සාර්ථක ඉමක් වෙත රැගෙන යයි. තම අතින්ම වැඩි මුදලක් වියදම් කරමින් ගත් දුරකථනයට ඔබේ ජීවිතය සිර නොකර එපිට ලෝකය විමසිල්ලකින් බැලීමට උත්සහ කළ යුතුය. තාරුණ්‍යය තුල ගොඩනැගෙන නිර්මාණශීලි දොරගුළු හැරදා ලෝකයේ සියලූ දේ තුල සැරිසරන්නට පැවතිය යුතු ඉඩ තරුණ ඔබ විසින්ම නිර්මාණය කරගන්නට උත්සහ කරමු.