Thursday, July 26, 2018



                  සල්ලි දී සිරවෙන තාරුණ්‍යයේ සිරකූඩුව
                     
               

     

          තාරුණ්‍යය ජීවිතයේ සුන්දරතම කාලසමයයි. ඒ සුන්දරත්වයට අපි සියලූ දෙනා ඇලූම් කරන අතර ඒ කාලයේ මිහිරියාව විඳින්නට සියලූ දෙනාට පවතින්නේ දැඩි ආශාවකි. එසේම තරුණ ජීවිතයේ බොහෝ දේ සදහා ඇලූම් කරන්නේ එම ආශාවන් මත ගොඩනැගෙන සිතුවිලි මුලිකවය. මේ අතුරින් තාරුණ්‍යයේ උන්මාදයක්ව පවතින ස්මාර්ට් ෆෝන් තරුණ ලොව තුළ රජ කරමින් වර්ධනය වෙමින් පවතී. තාරුණ්‍යයේ සිහින අතුරින් කවුරුත් සැබෑ කර ගන්නට වැර දරන එක්තරා සිහිනයකි මිල අධික නවීනතම දුරකථනයක් හිමිකර ගැනීම. තමාටම කියා අධික මුදලක් වියදම් කරමින් ජංගම දුරකථනයක් මිලදී ගැනීමට තරුණ පිරිස් අදවන විට යොමු වී ඇත.  සන්නිවේදන කි‍්‍රයාදාමයත් සමග ගමන් කිරීමේදී ජංගම දුරකථනයක අවශ්‍යතාවය මතුවීම අරුමයක් නොවේ. එනමුත් එම අවශ්‍යතාවන්ට එහාගිය උන්මාදයක් මෙම ස්මාර්ට් ෆෝන්  පෙරළිය තරුණ කණ්ඩායම් අතර වඩවාලමින් පැමිණ ඇත. එකිනෙකා සමග සහසම්බන්දතාවයන් ගොඩනගා ගැනීමේ අවශ්‍යතාවය මත පැමිණි ජංගම දුරකථනය ජීවිතයේ පැවැත්මට අවශ්‍ය වු අත්‍යවශ්‍යම උපාංගයක් වී ඇති බව තරුණ පිරිස දකින කවරෙකුට වුවද පසක් කරගත හැකිය.
                       
                                      වර්තමානයේ බොහෝ තරුණ පිරිස් විවිධ මාදිලියේ ජංගම දුරකථන මිලදී ගැනීමේදී ප‍්‍රධාන වශයෙන් බලාපොරොත්තු වන්නේ දුරකථනයෙන් ඡුායාරූප ලබාගැනීමට සුපැහැදිලි කැමරාවකි. සෙල්ෆි මාෆියාව මේ අතුරින් ඉහලම ස්ථානයක සිටින අතර තරුණ විලාසිතාවන් අතර ජංගම දුරකථනයද එක්වෙමින් පවති. විවිධ ඇදුම් පැළදුම් මිලදී ගෙන හැඩ පෙන්වීමට, මැක්ඩොනල්ඞ්, KFC වැනි ඉහල පංතියේ පිළිගැනීම් වලට ලක්වන ස්ථානයන්ට ගියවිට උද්දාමයෙන් සෙල්ෆියක් ගෙන අන්තර්ජාලයට මුදාහැරිමට තරුණ පිරිස් දෙවරක් නොසිතයි. එනමුත් ඒ පිටුපස ඇති හානිකරබව නම් අමතක කරමින් සිටි. පසුගිය කාලය තුල මේ සදහා සිදුවීම් ගණනාවක් සාක්ෂි දරයි.
           
                 තැන නොතැන බලා සෙල්ෆි උන්මාදයෙන් කි‍්‍රයාකිරීමට ගොස් සිය තරුණ ජීවිත අහිමි කරගත් සිදුවීම් තරුණ පිරිස් අතර එක්තරා සිදුවීමක් පමණක්ම වී ඇත. දුම්රියක ගමන්කරමින් සිටින අවස්ථාවේ සෙල්ෆි ගැනීමට ගොස් ජීවිතය අහිමි වු විදේශීය තරුණිය මෙන්ම තවත් විවිධ සිදුවීම් තුළින් අකාලයේ ජීවිතය අහිමි කරගත් සිදුවීම් අපිට දකින්නට මෙන්ම අසන්නටද ලැබුනි.ඒ කුමන සිදුවීමකින් වුවද තරුණ පිරිස් උගතගෙන ඇති පාඩමක් නම් දකින්නට නැත. සෙල්ෆි යනු ජංගම දුරකථනයේ තරුණ පිරිස් ලබන එක් වින්දනයක් පමණි. මුහුණුපොතේ සැරිසැරිමටද වැඩිදෙනෙකු භාවිත කරනුයේ ජංගම දුරකථනයයි. අතඇති ජංගම දුරකථනය තැනක් නොතැනක් බලා අතට ගන්නා යෞවනයන් දෑගිලි හසුරවා විගසින් පිවිසෙන්නේ මුහුණුපොතටය. දවසකට එකවතාවක් හෝ මුහුණුපොත තුල සැරිසැරීමට නොහැකි වුයේ නම්  කෑවේ නෑ වැනි හැගීමක් තාරුණ්‍යයේ පසුවන්නන් තුල ඇතිවේ. මෙහි සීමාමායිම් වලින් තොරව සැරිසැරීම නිසා එහි යටගික භයානකත්වය ඔවුනට නොපෙනේ. අවසානයේ ජීවිතයේ විනාශ මුඛයට ඇදවැටෙන තුරු එහි යටගියාව ඔවුනට අවබෝධ නොවෙනු ඇත. ”අතඇති ජංගම දුරකථනය තමන්ගේ නම් කවරෙකුගේ බාධාවක්ද” යන සිතුවිල්ල ඔවුන් තුලින් මතුවේ. නමුත් අතඇති එම උපකරණයේ ප‍්‍රමාණයට එහා ගිය යහපත් මෙන්ම අයහපත් කාර්යයන් රැසක් මිශ‍්‍රවීමක් ලෙස පවතින බව අමතක නොකල යුතුය.  
                         
                                       වර්තමාන සමාජය තුල තරුණ කණ්ඩායම් තුල පරිකල්පනීය ශක්තිය හීනවීමට ප‍්‍රධාන සාධකය ලෙස ජංගම දුරකථන භාවිතය හැදින්විය හැකිය. අද සිටින බොහෝ තරුණ පිරිස් දවසින් හරි අඩකටත් වඩා ගතකරනුයේ ජංගම දුරකථනයේ සැරිසැරීමටය. එම නිසා යමක් සිතාබලා කලනොහැකි තත්වයක් ඇතිවී ඇති අතර තරුණ පිරිස්හි සිතීමේ ශක්තිය මොටකරමින් පවතී. මහ මාර්ගයක, බස් රථයක, දුම්රිය පොළක ආදී කුමන ස්ථානයක වුවද දකින්නට ලැබෙන්නේ වයර් දෙකක් කන් දෙකට ගසාගෙන අසිහියෙන් මෙන් ගමන් කරන තරුණ පිරිසකි.ඔවුන් සිටින්නේ ඔවුනගේ ලෝකවලය. අවට කුමක් සිදුවුවත් ඔවුනට එය අදාල නැත්තා සේ ගමන් කරයි. අවට සිටින්නේ කවුද, කුමනාකාර පුද්ගලයන්ද ඔවුනට වැටහීමක් නොමැත. කථාබහකින් තොරව බිරන්තට්ටු වී දුරකථනයට යටවෙමින් ගමන් කරන ඔවුනට සිහි ඇත්තේ ජංගම දුරකථනයෙන් මවන සිහින ලෝකයට පමණි. එනමුත් එයින් වන කායික මෙන්ම මානසික ආබාධයන් පිළිබද වැටහීමක් නොපවතී. මොලයේ කි‍්‍රයාකාරීත්වය අකර්මණ්‍ය වීම මෙන්ම ශ‍්‍රවණාබාධයන්ට ප‍්‍රධාන හේතු සාධතය වන්නේ ජංගම දුරකථන භාවිතයයි. තරුණ සිත් තුල ඇතිවන නිර්මාණශීලි ආකල්පයන් හීනවී පරිකල්පන ශක්තිය මොට කරමින් දුරකථනයට යටවන හීනමානයන් ඔවුන් තුළ ගොඩනැගෙමින් පවති. මෙය කොතරම් යෞවනයන් අතර ග‍්‍රහනය වී ඇද්දැයි පැවසුවහොත් ඇදුම් අදින්නට අමතක වුවත් දුරකථනය අමතක නොකිරීමට තරම් මානසික පරිසරටයක් නිර්මාණය වී ඇත.
               
                                          වේලාවක් කලාවක් නොමැතිව බොහෝ අවස්ථාවන්හි අනවශ්‍ය දේ සදහා දුරකථනය භාවිත කරමින් අපතේ හරිනු ලබන කාලය ඔවුනගේ ජීවිතයට නැවත ගැනීමට නොහැකි බව තරුණයින් මතකයේ රදවා ගැනීම වැදගත් වේ. මෙය ඔවුනගේ අනාගත ජීවිතයටද තර්ජනයකි. රැුල්ලට යන දුරකථන මාදිලියන්ට යට නොවී අවශ්‍ය සන්නිවේදන අවශ්‍යතාවයන් සපුරා ගන්නේ නම් පවතින තත්වයන්ට වඩා ඔවුනගේ අනාගතය සුපැහැදිලි වනු ඇත. ජීවිතයේ වැදගත්ම කාලය ලෙස තාරුණ්‍යයේ පසුවන සමය හැදින්විය හැකිය. අධික මුදලක් වියදම් කරමින් ගත් ස්මාර්ට් දුරකථනය තරුණ ඔබගේ ජීවිතය නොකරගෙන යථාර්තය දෙස දෑස් විවර කල බැලීමට උත්සහ කලහොත් එය ඔබගේ ජීවිතයේ එක්තරා සාර්ථක ඉමක් වෙත රැගෙන යයි. තම අතින්ම වැඩි මුදලක් වියදම් කරමින් ගත් දුරකථනයට ඔබේ ජීවිතය සිර නොකර එපිට ලෝකය විමසිල්ලකින් බැලීමට උත්සහ කළ යුතුය. තාරුණ්‍යය තුල ගොඩනැගෙන නිර්මාණශීලි දොරගුළු හැරදා ලෝකයේ සියලූ දේ තුල සැරිසරන්නට පැවතිය යුතු ඉඩ තරුණ ඔබ විසින්ම නිර්මාණය කරගන්නට උත්සහ කරමු.  
              

5 comments: