Wednesday, August 8, 2018


පාලක නින්දේ රජ වන සමාජය බිලිගත් මත් රකුසා
  
               



                     ශ්‍රී ලාංකීය සමාජ වටපිටාවට අනුව නිතිපතා කථාබහට ලක්කරන තවමත් විසදුමක් නැති ගැටලූවක් බවට මත්ද්‍රව්‍ය පැතිරී යාම හදුන්වා දිය හැකිය. මෙම ශ්‍රී ලාංකීය මත්ද්‍රව්‍ය ගැටලූව මෑතකාලීන සංසිද්ධියක් නොවේ. කි‍්‍ර.ව. 1505 දී පෘතුගීසින් සහ ලන්දේසි හා ඉංගි‍්‍රසී ආක‍්‍රමණයන්ට ලක් වු අතර ප‍්‍රථමයෙන් පෘතුගීසි ජාතිකයින් විසින් අබිං නැමැති මත්ද්‍රව්‍ය කෑම ලංකාවට හදුන්වා දෙනලදී. අබිං වගාව සංවර්ධනය කරමින් පැතිරී යාමත් සමග ගංජා නැමැති මත්ද්‍රව්‍ය වගාවන්ද මෙරට සංවර්ධනය වීම ආරම්භ විය. මෙය පසුකාලීනව 70 දශකයේ අවසානයේ දී ඉතා ප‍්‍රබල භයානක මත් ද්‍රව්‍යයක් වන හෙරොයින් භාවිතය ආරම්භ විය. 1978 විවෘත ආර්ථීක ප‍්‍රතිපත්තියේ බලපෑම් මෙම සමාජ ගැටලූව වර්ධනයට මුලබීජ සැපයු අතර එය ක‍්‍රමයෙන් මෙරට ජනයාගේ පරිහානිය ලගා කරන්නට විය. අදවන විට එය වැඩිහිටි සමාජයට වඩා බාලවයස්කාරයින් සහ තරුණ ප‍්‍රජාව තුල ජනපි‍්‍රයතම ඇබ්බැහිය වී ඇත. විවිධ නාමාවලියන්ගෙන් හදුන්වා දෙන මත් රකුසන් අද අපේ අනාගත පරපුර බිලිගනිමින් සිටියත් එයට වගකිව යුතු පාලකයින් තවමත් නින්දත් නොනින්දත් අතර පසුවේ.
                               
                       මෙම මත්ද්‍රව්‍ය භාවිතයත් සමග සමාජ ගැටලූ රාශියක් වර්ධනය වෙමින් පවති. සිය දිවිනසා ගැනීම, මානසික විකෘතීන් මෙන්ම පවුල් ආරවුල් වලට ප‍්‍රධාන හේතුව මෙම මත්ද්‍රව්‍ය ඇබ්බැහියයි. මෙලෙස හටගන්නා කුඩා ගැටලූ අද වනවිට මුළුමහත් සමාජයටම ප‍්‍රබල තර්ජනයක් වී ඇත. දුම්බීම තරුණ ප‍්‍රජාව අතරින් වැඩි වශයෙන් භාවිතා කරන මත්ද්‍රව්‍යයක් වන අතර කොතරම් මිල ඉහල ගියත් එය මිලදි ගැනීමට පසුබට නොවන තරමට එය නැතිවම බැරි දෙයක් බවට සමාජය තුල රජ වෙමින් සිටි. කුසට අහරක් නොමැති වුවත්, තමන්ගේ පොකට් එක එම්ටි පොකට් වුවත් කුලියක් කර හෝ ලබාගන්නා මුදල හවසට මෙවැනි මත්ද්‍රව්‍ය සදහා වැය කිරීම ඛේදවාචකයකි. මුදල් නොමැති අවස්ථාවන්හි සොරකම් කිරීමට, මිනී මැරුම්, දුෂණ මංකොල්ලකෑම් වලට දෙපාරක් නොසිතා යොමුවීමට අද මෙරට සමාජය හුරුවී සිටි. මෙරට ආර්ථීකයට වැඩි බදු ප‍්‍රමාණයක් මෙම මත්ද්‍රව්‍ය ආනයනය මත ලබාගන්නා නිසා එම මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කරනවා වෙනුවට එයට වැඩි මුදලක් අයකරමින් තව තවත් මෙරට ව්‍යාප්ත කරමින් සිටි. පෝයට පමණක් වසා තබන මත්ද්‍රව්‍ය වෙළද සැල් තුලින් ඔවුන් විශාල මුදලක් සිය ආර්ථීක සංවර්ධනයට ලබාගනී. නමුත් එමගින් දිනෙන් දින විශාල වන්නේ මෙරට අනාගතය බව ඔවුන් අමතක කරන්නේ මන්දැයි ගැටලූවකි. අද වෙනත් දෙමාපියෙකුගේ දරුවකු මෙයට ඇබ්බැහි වීම ඔවුනට නොදැනෙනවා විය හැකිය. නමුත් හෙට මෙරට ප‍්‍රධාන පෙළේ බලධාරියෙකුගේ දරුවකු මෙම මත් රකුසාට බිලිවුවහොත් එදාට ඔවුනට මෙහි යථාර්තය අවබෝධ වනු ඇත. 
          
              වැඩිහිටි සමාජය තුල පමණක් නොව පාසල් භූමිය තුලටත් ප‍්‍රධාන වශයෙන් නොවැළක්විය හැකි සමාජ ගැටලූවක් බවට මෙම මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය අදවන විට හදුනා ගත හැකිය. ලෙඩ රෝග බහුල වෙමින් කෙටි ආයු කාලයක් තුල අකාලයේ මියයන මෙරට අනාගත පරපුර ගැන වගකිව යුත්තේ කවුද? කප්පන් ගන්න, හොරට සල්ලි අරගෙන යටිමඩි ගහන පාලකයින් පිරිසක් මෙරට බහුල වශයෙන් සිටින විට වගකීම් සහගත ලෙස නීත්‍යානුකූලව සිය ධුරයේ කටයුතු කරන අල්පයක් නිලධාරීන්ට මෙය වැළක්විය නොහැක. එයයි සමාජ යථාර්තය. මාසිකව ගන්නා පඩියට සරිලන ලෙසවත් මෙරට සමාජ සංවර්ධනය උදෙසා කටයුතු නොකරන පාලකයින් සිය නිලයන්ට කරන්නේ ද අගෞරවයකි. නොනිදා පුටු රත්නොකර දෑස් ඇර මෙරට සමාජය යන අගාදය දෙස විමසිලිමත්ව බැලිය යුතුය. නැතිනම් සමාජය මෙන්ම හෙට ඔබේ පවුලද මෙවැනි සමාජ ගැටලූ රැසකට මුහුණදෙයි. එම නිසා වගකීම් සහගත බලධාරීන් මතින් තොර වු යහපත් සමාජයක් ගොඩනැගීම උදෙසා හැකි උපරිම සේවය මෙරට සමාජය වෙනුවෙන් ලබාදෙනු මැනවි.

2 comments: