Thursday, May 31, 2018

පාසලේ පොත්ගුල

                       

     පාසලේ පොත්ගුලට වටිනාකමක්  එකතුකරමු.
                             




                                       
            අවිවේකි ජිවිතයට එක්තැන් වු මිනිසා කායික මෙන්ම මානසික වශයෙන් මහත් පීඩාකාරී බවකින් පිරි ජීවිතයක් ගත කරයි. නමුත් මිනිසා මානසික වශයෙන් යම් මොහොතකට හෝ අස්වැසිල්ලක් ලබා ගැනීමට විඩාබර දවසේ කාලරාමුව තුල මංපෙත් සොයාලමින් සැරිසරයි. මිනිසාට මානසික වශයෙන්  නිරෝගීතාවයක් ලබා දෙන පොතපත කියවිම ළමා වැඩිහිටි කවුරුත් යොමු වුයේ මෙහි ප‍්‍රතිඵලයක් ලෙසිනි. සාක්ෂරතාව අතින් උසස් මට්ටමක සිටින ජනතාවක් සිටින අප රටේ කාලයක සිට පැවති පොතපත කියවීමේ පුරුද්ද ඇති කරන ප‍්‍රධාන ආයතනයක් ලෙස පුස්තකාලය හදුනාගත හැකිය. මෙහි දී පාසලට මුලිකත්වයක් ලබා දෙන අතර පාසල් සිසුන්ට අධ්‍යාපනයක් ලබා දිම මෙන්ම කියවීමට රුචිකත්වයක් ඇති කිරීම උදෙසා පාසලේ දැනුමේ කෝෂ්ඨාගාරය හෙවත් පුස්තකාලය ප‍්‍රධාන මෙහෙවරක් ඉටුකරනු ලබයි. විවිධ ජනමාධ්‍ය ඔස්සේ අතොරක් නැතිව ගලා එන නව දැනුම පුද්ගලිකව සිය ග‍්‍රහනයට හසුකර ගැනීමට නොහැකි තරම් විශාල වීම මත එම කර්තව්‍යය ඉටු කර ගැනීමට කාර්යක්ෂම සංවිධානයක පැවති අවශ්‍යතාවය මත බිහිවන මෙම පුස්තකාලය නම් ආයතනික සංකල්පය පාසල තුල ප‍්‍රධාන වශයෙන් දැනුම එක්රුස් කල ගබඩාවක් වැනිය. අතීතයේ සංරක්ෂණාගාරයක් ලෙස කටයුතු කල පුස්තකාලය පාසල් භූමිය තුල සිසුන්ගේ විශ්ව ඥානය එක්රැස් කරන, සංවිධානය කරන හා බෙදාහරින ආයතනයක් ලෙස හදුනා ගත හැකිය. 
                           
                                                                     මානව ශිෂ්ටාචාරයේ ආරම්භයේ සිටම එක් පරපුරක් සතු දැනුම තවත් පරපුරක් වෙත උරුම කරමින් සමාජ සේවයක් ඉටු කරන ආයතනයක් ලෙස පුස්තකාලය හැදින්විය හැකිය. පාසල තුලින් විෂයානුබද්ධ දැනුමක් මෙන්ම දරුවන්ට හොද සිරිත්, විරිත්, ආචාරධර්ම, සාරධර්ම හුරුකරවන්නා සේම කියවීමේ රුචිය ඇති කරමින් දරුවාට ඉහත පුරුදු ඇති කරලන්නට පුස්තකාලය නම් මහා පොත්ගුල ප‍්‍රධාන කාර්යබාරයක් ඉටු කරයි. පාසලක මුලික ආයතන පද්ධතියට පුස්තකාලයේ අවශ්‍යතාවය ප‍්‍රධාන වශයෙන් දැනෙනුයේ මෙම මෙහෙවර නිසාය. පාසල තුල සිසුන් තම ගුරුවරුන්ගෙන් ලබා ගන්නා දැනුම් සම්භාරය තව තවත් පෝෂණය කර ගැනීමට මෙන්ම තම බුද්ධි වර්ධනයට පුස්තකාලයෙන් ලබා ගන්නා ප‍්‍රයෝජනය මෙතකැයි මිලකල නොහැකිය. අතීතයේ මැටි පුවරු මත සනිටුහන් වු තොරතුරු පොත පත මත ලේඛන ගත වීමත් සමග අතීත දැනුම ආරක්ෂිතව අනාගතයට දායාද කිරීමට අවස්ථාව ලැබී ඇත. නමුත් අධ්‍යාපන කි‍්‍රයාවලියේ නිරත වන මෙරට සිසුන් පෙරකල දැනුම සොයන්නට පැවති උනන්දුවවත් නොමැති වීම කණගාටුවට කරුණකි. පාසල තුල පවතින පුස්තකාලයේ පොතපත භාවිතයට ගන්නවා වෙනුවට ඒ මත මකුළුන්ගේ රජදහනක් බවට පත් වන්නට දී හිස් මොළ පුරවාගෙන සිටින පාසල් සිසුන් අනාගත පරපුරට දායාද කරන්නට මාන බලන්නේ හිස් පිටු සහිත පොතක් වන්නට පුළුවනි. අදවන විට පුස්තකාලය පාසල තුල සිසුන් භාවිත කරන්නේ පාසල් පේ‍්‍රමයේ නවාතැන්පලකට පමණි. දොඩමළු වීමට නිදහස සොයන පාසල් සිසුන් ගුරුවරුන්ගේ දෑස් මානයෙන් මිදී කල්ගත කරන්නට පුස්තකාලය භාවිතා කරනවා මිස එහි දැනුම පිරික්සීමට උත්සහ නොකරයි. නමුත් මෙය පාසල තුල ප‍්‍රමිතිගත කලයුතු ආයතනයකි. සිසුන්ගේ අවධානය මෙයට වඩා පොතපත කියවීමට හුරු කිරීම ගුරුවරුන්ගේ ද යම් මට්ටමකට පැවරෙන කාර්යබාරයක් වේ. කුඩා, ලොකු කුමන පාසලක වුවද පුස්තකාලයක් පාසල තුල පවතින පහසුකම් මත හෝ ගොඩනගමින් අධ්‍යාපන කි‍්‍රයාවලිය මෙයට වඩා විධිමත් කි‍්‍රයාවලියක් මත සිදුකිරීමට උත්සහ කිරීම ඉතාමත් වැදගත් වේ.
                              ශ්‍රී ලංකාවේ පවතින නිදහස් අධ්‍යාපන ක‍්‍රමය හේතුවෙන් ඉහල ශාක්ෂරතාවයක් පවතින රටක් ලෙස හදුන්වා ඇත. එසේ වුවද කියවීමේ ප‍්‍රවණතාවය අඩුය. පාසල් සිසුන් තුලින් මෙම ගැටළුවට විසදුම් කි‍්‍රයාත්මක කිරීම මත අනාගත පරපුර හෝ සුරක්ෂිත වන්නේය. මෙම පුස්තකාල පරිහරණය සිසුන් මතින් අවම වන්නට බලපාන හේතු සාධක අතර උපකාරක පංති, රූපවාහිනිය මෙන්ම නවීන මාධ්‍ය හේතු වන්නා සේම පාසල් පුස්තකාලයන්හි ප‍්‍රමිතිය ගිලිහී යාමත්, යාවත්කාලීන නොකර එකතැන රාක්කකර පවතින පොත් කිහිපයකින් පාසල් පුස්තකාලය පැවතීමත් මුලික වේ. නුතනයත් සමග තරගකාරී අධ්‍යාපන කි‍්‍රයාවලියක නිරත වන සිසුන්ට එයට අවශ්‍යය කරන කාලීන පොතපත ද තම පුස්තකාලය තුලින් සිසුන් බලාපොරොත්තු වුවද වර්තමාන පාසල් පුස්තකාලයන්හි මෙම කාර්ය සිසුන්ට ඉටු කරගැනීමට නොහැකි වී ඇත. එම නිසා මහජන පුස්තකාලයන් වෙත ඇදී යන සිසුන් පාසල තුල පවතින පුස්තකාලයට වැරදිමකින් හෝ ගොඩවීමට නොසිතයි. සාක්ෂරතාව තිබු පමණින් සිසුන් කියවිමට පෙලෙඹි යැයි සිතීම වැරදි කල්පනාවකි. එය ඔවුන් තුලින් ආයාසයෙන්ම ගොඩනැගිය යුතු දෙයක් වේ. පාඨකයා පුස්තකාලයේ හොදම මිතුරෙකු ලෙස සලකන අතර පලමුව පුස්තකාලය පාඨකයා වෙත පැමිණිය යුතුය. හදවතට සමීප වු විට පාඨකයා ඒ වෙත පියමනින්නට අමතක නොකරයි.
                      
                            තම පාසලේ පුස්තකාලය ගොඩනැගීමට එහි සිටින සියලූ පුද්ගලයන්ට වගකීමක් පවති. පුංචි දෙයකින් තමන්ටත් ඒ වෙනුවෙන් යමක් කලහැකි බව සියලූදෙනාගේ සිත් තුලට දැනිය යුතුය. තම ජිවිතයේ සුවිශේෂි දිනයකට පුස්තකාලයට යමක් පරිත්‍යාග කල හැකිනම් එය කොතරම් වටින දෙයක් වන්නේද. පාසලේ සිසුන්ට තම උපන්දිනයට එක් පොතක් තම පාසලේ පුස්තකාලයට පරිත්‍යාග කිරීම, ගුරුවරුන්ට ද තමාට හැකි යම් අවස්ථාවක හෝ තම පුස්තකාලයට පොතක් පරිත්‍යාග කරන්නට හැකි නම් ඒ පුංචි දැනුමැති කෝෂ්ඨාගාරය විශාල පුස්තකාලයක් බවට පත් කරන්නට බැරිකමක් නැත. තම පාසලේ පුස්තකාලයට වටිනාකමක් එකතු කරමින් එය ගොඩනගන්නට එයට උචිත උපායන් නිර්මාණය කර ගැනීමට පාසලේ අධ්‍යාපන ලබන්නන් වශයෙන් උත්සහ කලයුතුය. අපේ රටේ සිසුන් ගෙන යායුත්තේ ගුණාත්මක කියවීමකටය. සිසුන් කියවන්නේ නැති පිරිසක්නම් ඔවුන්ට පමණක් දොස් නැගීම පලක් නැත. පාසල් පුස්තකාලයේ සිට එය නැති කිරීම ආරම්භ කල යුතුය.එම නිසා තම පාසලේ පුස්තකාලය ද මකුළු රජදහනක් වන්නට හැර බලා නොසිට එහි නිසි ඵල ලබා ගැනීමට උත්සහ කරන්නන් අධ්‍යාපන කි‍්‍රයාවලියේ මෙන්ම ජීවිතයේ ද සාර්ථක ගමනාන්තයක් එළිපෙහෙලි කරගනී.

Wednesday, May 30, 2018

ටෙලිනාට්‍යකරණය

ටෙලිනාට්‍යකරණය සහ බිඳවැටෙන මානව සම්බන්ධතා

         

                                                                     විශ්වීය ලෝ තලය තුළ සිටින මානවයාගේ පරිණාමීය ඉතිහාසයට අනුව මුල් කාලීනව සරල දිවි පෙවෙතක් ගෙවූ ඔවුන් මූලික අවශ්‍යතා වූ ආහාර, ආරක්ෂාව සහ ලිංගිකත්වය මූලික කරගෙන සිය අවශ්‍යතා සපුරා ගත්හ. මෙම මූලික අවශ්‍යතා පොදු අවශ්‍යතා බවට පත් වීමෙන් පසුව අවශ්‍යතා සංකීර්ණ වීමෙහි ප‍්‍රතිඵලයක් ලෙස එයට විසඳුම් ලෙස ජනමාධ්‍ය ආගමනය සිදු විය. මුද්‍රණ ක්ෂේත‍්‍රයෙන් ආරම්භ වූ ජනමාධ්‍යකරණය ක‍්‍රමික විකාශනයත් සමග අදවන විට නව මාධ්‍යකරණයකට එහා ගිය ඩිජිටල්කරණය දක්වා සීඝ‍්‍රව දියුණු වෙමින් පැමිණ ඇත. මෙම විකාශනයේ ප‍්‍රතිඵලයත් සමග 1950 දශකයෙන් පසුව මෙරටට පැමිණි රූපවාහිනිය ජනතාවගේ මිතුරා වූයේ නොසිතුවත්මය. රූපවාහිනී ආගමනයත් සමග බිඳවැටෙන් සිනමාකරණයෙන් පසුව ජනතා රස වින්දනය තිව‍්‍ර කරන එකම මාධ්‍ය ලෙස රූපවාහිනිය පත් වේ. 
                                                                 ආලින්දයේ මිතුරා ලෙස පැමිණෙන මෙම රූපවාහිනී මාධ්‍ය තුළින් ජනතාව එදිනෙදා තොරතුරු පිළිබඳ දැනුවත් වූ අතර මූලික වැඩසටහන් අතුරින් උසස් ගණයේ ටෙලිනාට්‍යකරණයත් සමග මුළු පවුලේ සාමාජිකයන් එකට හිඳිමින් වින්දනාත්මක වූ ආධ්‍යාත්මක සුවයක් ලබා ගත්හ. නමුත් ක‍්‍රමිකව වර්ධනය වූ හිමිකාරීත්වයේ සහ වෙළඳ කි‍්‍රයාකාරකම්වල ප‍්‍රතිඵලයක් වූ වාණිජකරණය නිසා රූපවාහිනිය තුලින් ජනතාව විඳි අධ්‍යාත්මික රසාස්වාදය බිඳ වැටීමට ලක් විය. බිඳ වැටීමේ ආරම්භය වර්තමානය වන විට කෙතරම් ප‍්‍රබල වී ඇත්දැයි පැවසුවොත් රූපවාහිනිය විකාශිත කාලය තුලින් ජනතාවට ලබාගත හැකි යමක් නොමැති තරම්ය. කෙසේ නමුත් මුල් කාලීන ටෙලිනාට්‍යකරණය සහ අද බිහිවන වට්ටෝරුගත ටෙලිනාට්‍යකරණය ගත් විට ටෙලිනාට්‍ය යන කලාව අද කලා ක්ෂේත‍්‍රයෙන් ඈත් වෙමින් යයි. බහුජාතික සමාගම් විසින් බලහත්කාරයෙන් අපට ආරෝපණය කරන විදේශීය සංස්කෘතියට අප දැන් ග‍්‍රහණය වී අවසන්ය. ප‍්‍රධාන වශයෙන් රූපවාහිනී ටෙලිනාට්‍යකරණය ආක‍්‍රමණය කර ඇති ඉන්දීය වට්ටෝරුගත ටෙලිනාට්‍යකරණය අද සමාජයේ ජනතාව පැල් බැඳගෙන ඇසිපිය නොහෙලා පැය 2, 3ක් එකතැන හිඳිමින් නරඹන්නේ මෙම බොල් ටෙලිනාට්‍ය හරහා සිදු කරන ආක‍්‍රමණයට අප යටත් වී ඇති නිසා නොවේද
                                                                         ජනශ‍්‍රැතිය ඔස්සේ සාම්ප‍්‍රධායික සන්නාවේදන ක‍්‍රමවේදය යටතේ අපගේ හැඟීම් ප‍්‍රකාශනයට බිහි වූ නාට්‍යකරණයෙන් බිඳී ආ මෙම ටෙලිනාට්‍යකරණය ඔස්සේ මූලික කරගෙන බිහි වුණ ටෙලිනාට්‍ය පෙන්වා දෙන රැුල්ලට යන ජනපි‍්‍රය ජීවන සම්ප‍්‍රධායන් හේතුවෙන් ඔවුන් එම ජීවන පැවැත්මට පොළඹවමින් මාධ්‍යයට අනුව පුද්ගලයා ජීවිතය ගත කරන තත්වයට අද මාධ්‍යකරණය පැමිණ ඇත. මුල් කාලීනව බාල තරුණ වැඩිහිටි පවුලේ කවුරුත් එකට හිඳිමින් නැරඹුව ටෙලිනාට්‍ය අද රැුල්ලට යන බොලඳ මානසිකමය හැඟීම්  ඔද්දල්වමින් වර්ධනය වෙමින් පවති. ස්තී‍්‍රය, ලිංගිකත්වය වෙළඳ භාණ්ඩයන් කර ගනිමින් විවාහය, දික්කසාදය, පවුල් සම්බන්ධතාවන් මූලික තේමාව කරගත් වර්තමාන ටෙලි මාලාවන් තුලින් ජීවිතයට ගත හැක්කක් නොමැත. මුදල මූලිකවන රූපවාහිනී නාලිකාවක් සිය ජනපි‍්‍රයත්වය රැුක ගැනීම සඳහා සීමාවකින් තොරව මෙවැනි වට්ටෝරුගත ටෙලිනාට්‍ය විකාශනය කරමින් දේශීය සංස්කෘතිය සමග ගොඩනගාගෙන දේශීය ටෙලිනාට්‍යකරණය අනතුරේ හෙලා ඇත. අදටත් බොහෝ රසික පිරිසක් අගයන දඩුබස්නාමානය, ගිරය, දළ රළ පෙළ,   අඹ යහළුවෝ, බෝඩිම, හිරුට මුවාවෙන් වැනි දේශීය ටෙලිනාට්‍යකරණයේ ඉහළ ස්ථානයක වැජඹුනු මෙවැනි ටෙලිනාට්‍ය අද බිහි නොවන්නේ මෙම මානසිකත්වයෙන් යුතු මාධ්‍යකරණයේ ප‍්‍රතිඵලයක් ලෙසිනි. වර්තමාන රූපවාහිනිය විකාශනය ගත් විට සවස 7.30 න් පසුව පුරා පැය කිහිපයක් එක දිගට හිඳගත් විට ඇසිපිය නොහෙලා බලා සිටින ටෙලි පෙරහැරකට ජනතාව පුරුදු වී සිටී. කුසට ආහාර නොගත්තත් ටෙලිනාට්‍ය අමතක කිරීමට නම් නොහැකි පේ‍්‍රක්ෂක පිරිසක් මෙම ටෙලිනාට්‍යකරණයට පොළඹවාගෙන ඇත. වර්තමාන ටෙලිනාට්‍ය මෙයට කදිම නිදර්ශන සපයයි. සිරස නාලිකාවේ විකාශිත සල්සපුනා, මේ ආදරයයි ටෙලි නාට්‍ය ද හිරු නාලිකාවේ ආදරෙයි මං ආදරෙයි, කවුරුන්ද නුඹ මගේ, හීනයක්ද මේ වැනි ටෙලි මාලාවන් මෙන්ම දෙරන නාලිකාවේ දෙවෙනි ඉනිම, සදහටම ඔබ මගේ වැනි දිනපතා ටෙලිනාට්‍යද පේ‍්‍රම දඩයම, ආදර මායාව වැනි සති අන්ත ටෙලි නාට්‍ය ද ගත්විට අපට ලැබී ඇත්තේ වට්ටෝරුගත පුහු මානසිකමය හැගිම් පමනි.  අද ජීවත්වන පුද්ගලයා සිය ජීවිතය තුල වු පුහු මානසිකමය චරිත නිර්මාණය කර ගනුයේ මෙම ටෙලිනාට්‍ය වීරයන් ආදර්ශය කොට ගනිමිනි. ගෙදර ස්වාමියා ප‍්‍රාර්ථනා කරනුයේ ඉෂිතා, ශඟුන්, ස්වප්නා වැනි බිරින්දෑවරුය. මෙයට ප‍්‍රතිපාර්ශව බිරින්දෑවරු ස්වාමියන් දකින්නේ ටෙලිනාට්‍යකරණයේ කාඞ්බෝඞ් වීරයන් ලෙස සැලකෙන සුරාඡ්, රමන්, රන්දීර්, ගගන් වැනි චරිතයන් ඔස්සේය. සිය ජීවිතය ඔවුන් පෙන්වන මුලාවට අනුව නිර්මාණය කර ගැනීමට යාම නිසා අද සිය විවාහය දෙදරා ගොස් දික්කසාදය යන තත්වයට පත් වීමට තරම් මෙම ගැටළුව දැන් දැන් වර්ධනය වෙමින් පවති.  ඕනෑම සිදුවීමක් ඉක්මනින් ග‍්‍රහණය කර ගන්නා ළමා මනස ටෙලිනාට්‍ය ඔස්සේ මෙහෙයවීම නිසා ටෙලිනාට්‍ය ඹස්සේ මවාපාන සුරංගනා පවුලක් දරුවා අපේක්ෂා කරයි. තමන්ගේ මව පියා මෙම ටෙලිනාට්‍ය චරිත ඔස්සේ සසඳයි. මෙම ගැටළුවෙහි තම දෙමාපියන් නොහඳුනන තත්වයට ළමයා පත් වී ඇත. අඩු වයසින් සිදුවන පේ‍්‍රම සබඳතා, විවාහය මෙන්ම දුෂණයන්යට බලපානුයේ මෙම මානසිකත්වයයි. අනියම් සබඳතාවයක් වැඩි වශයෙන් අවධාරණය කරන මෙවැනි ටෙලිනාට්‍ය නිසා විවාහය යන වටිනා මානව සම්බන්ධතාවට ලැබී තිබූ වටිනාකම ගිලිහී ගොස්ය. මෙයට ප‍්‍රධාන වශයෙන් පොළඹවාලූයේ මෙම ටෙලිනාට්‍යකරණය ඔස්සේ පෙන්වන ලද බොලඳ මානව සම්බන්ධතාවන්ය. බොලඳත්වයට මුල් තැන දුන් සාටෝප ජීවිතය මාධ්‍යයට පාලනය කරන්නට දී උඩ බලා සිටීමෙන් ඔබ සහ ඔබ අවට සිටින්නන්ගේ හෙට දිනය අඳුරු මුඛයට ඇද දමයි. 
                                                 වාණිජ්‍යකරණයත් සමග රැල්ලට යන මෙම ටෙලිනාට්‍යකරණය ඔස්සේ සිය ජීවිතය ගොඩනගන්නට උත්සහ කරන පුද්ගලයන් නිසා ගොඩනැගෙන මානව සම්බන්ධතාවන් හේතුවෙන් සමාජමය ගැටළු රාශියක් නිර්මාණය කරමින් පවති. එම නිසා බොලඳ මානසිකත්වයෙන් මිදී යථාර්තවත් වු මානසිකත්වයෙන් මෙවැනි නිර්මාණයන් හඳුනාගෙන බොලඳ ටෙලිනාට්‍යයන් ඔස්සේ මවාපාන සුරංගනා ලෝකයට සිය ජීවිතය යටත් වීමට ඉඩ නොදිය යුතුය. ධනාත්මක මනසින් මාධ්‍යකරණය වටහාගනිමු. එය ඔබේ ජීවිතය හා බැඳුණු මානව සම්බන්ධතාවන් ශක්තිමත් කරන්නට මෙන්ම යහපත් පවුල් පසුබිමක් ඇති කරන්නට පිටිවහලක් වේ.