Tuesday, July 31, 2018


කටට එන සෑම වචනයක්ම ඔබත් කියවනවාද?





                            මානව සමාජයේ පරිවර්තනීය කාලය දෙස නැවත හැරි බලන විට මානවයාගේ පරිවර්තනය ක‍්‍රමක් ක‍්‍රමයෙන් සිදුවීමත් සමග දියුණු මානවයාගේ ආරම්භය සිදුවිය. පසුකාලීනව මානවයාගේ දියුණු මොළයෙහි වර්ධනයත් සමග එකිනෙකා අතර අදහස් හුවමාරු කර ගැනීමේ කි‍්‍රයාවලිය නිර්වාචිකව සිදුකලහ. නමුත් අනෙකුත් සත්වයින් අතර මානවයාට දියුණු මොළයක් හිමිවීම හේතුකරගෙන ඔහු දිනෙන් දින දියුණුවන මොළයක් ඇති සත්වයකු බවට පත්විය. මෙහි පරිවර්තනයක් ලෙස මානවයාගේ වාචික සන්නිවේදනය භාෂාවේ පරිවර්තනයත් සමග අවශ්‍යතාවයන් මුලික කරගෙන වාචිකව සන්නිවේදනය කලහ. මෙම වාචික සන්නිවේදනයේ පරිවර්නයත් සමග යහපත් දේ මෙන්ම අයහපත් දේ ප‍්‍රකාශ කිරීමට වචන භාවිතා කිරීම සිදුවිය. විවිධ විද්වතුන් මේ පිළිබද විවිධ ලෙස අර්ථදැක්වීම් සිදුකලහ. වචනයකින් කලහැකි බලපෑම ඉතාමත් ප‍්‍රබලය. ආයුධයකින් එල්ල කල නොහැකි ප‍්‍රහාරයක් වචනයකින් එල්ල කල හැකිබව බොහෝ විද්වතුන් පිළිගන්නා කරුණකි. බුදුදහමට අනුව මෙම වචන හිස් වචන සහ පරුෂ වචන ලෙස අහිතකර වචනයන් පිළිබද විග‍්‍රහ කර ඇත.
       
                               වැඩිහිටි තරුණ කුඩා සමාජ කණ්ඩායම් මෙම වචන භාවිතයේදී  යහපත් මෙන්ම අයහපත් වචන භාවිතය සිදුකරයි. කටට එන  ඕනෑම වචනයක් ප‍්‍රකාශ කිරීමට හුරුපුරුදු වී සිටින තරුණ පිරිස් මේ අතර විශේෂිතය. දැනුවත්ව හෝ නොදැනුවත්ව කටින් පිටකරන මෙම වචන පිළිබදව අවබෝධයෙන් ප‍්‍රකාශ කරන්නේ එයින් සුළු පිරිසකි. නමුත් වචනයකට කලහැකි බලපෑම පිළිබදව අප සැලකිලිමත් වියයුතුය. සමාජයේ විවිධ කණ්ඩායම් අතර ජීවත්වන පිරිසක් වශයෙන් ඒ පිළිබද සැලකිලිමත් වීම ඉතාමත් වැදගත්ය. මන්ද පුද්ගලයෙකු ප‍්‍රකාශ කරන එක් චචනයකින් පුද්ගල ප‍්‍රසාදයට මෙන්ම අප‍්‍රසාදයට ලක්වීමටද ඉඩකඩ පවති. සමාජයේ ජීවත්වන තරුණ කණ්ඩායම් මේ පිළිබද දක්වන්නේ අඩු උනන්දුවකි.

                තමන්ගේ කටින් පිටකරන සෑම වචනයක්ම පිටකිරීම සාමාන්‍යය අපගේ පුරුද්දකි. එයින් තමන්ගේ මෙන්ම අනෙක් පුද්ගලයන්ගේද මනසට හානියක් නොවන ආකාරයේ වචන විය යුතුය. කටක් උපතින්ම තිබු පමණින් කටට එන හැම වචනයක්ම දෙඩවීම යහපත් නොවෙනු ඇත. නමුත් තරුණ පිරිස් අදවන විට බොහෝ වචන දොඩවන්නේ හේතුවකින් තොරවය. රැල්ලට යන වචන වලින් සිත්පුරවා ගත් බොහෝමයක් තරුණයින් ප‍්‍රකාශ කරන එම වචන බුදුදහමට අනුව හදුන්වාදී ඇති හිස් වචන හා සමානය. එමගින් වැඩිහිටියෙකුට වුවද ගෞරවයෙන් යුතුව කථාකලයුතුයි යන මානසිකත්වය බිදියයි. මාධ්‍යකරණය සමග කුඩා ළමයාගේ සිට වැඩිහිටි තරුණ පිරිස් අතරට ජනපි‍්‍රය සංස්කෘතියේ වචන එකතු කරමින් සංස්කෘතිකමය වශයෙන් බිහිවී තිබු අපේ සංස්කෘතිකව රැුකුන භාෂාව පරිහානියකට පත්කරමින් පවති. සිංගී‍්‍රසි කලාවක් එකතු කරමින් සිංහලත් නොවන ඉංගී‍්‍රසිත් නොවන වචන භාවිතය අද ජනපි‍්‍රයම කලාවකි. මෙවැනි විවිධ භාෂා රටාවන් දවසින් දවස අපේ කටවහරට එකතු වීම අරුමක් නොවනු ඇත. නමුත් තමන් පිටකරනු ලබන වචන නිවැරදිව භාවිතා කිරීමට පුරුදුවීම ඉතාමත් වැදගත්ය. මන්ද කුඩා දරුවෙකු වුවත් සිය භාෂාව හසුරුවා ගන්නේ වැඩිහිටියන් දෙස බලාය. අනාගත පරපුර නිවැරදි භාෂා උච්චාරනයක් හුරුකරවීමට නම් මුලින්ම වර්තමාන පරපුර නිවැරදිව හසුරවා ගත යුතුය. කටමැලියාවට දොඩවන්න එපා කියලා බොහෝ වැඩිහිටියන් නිතරම ප‍්‍රකාශ කරන්නේ වචන වල පවතින සුදුසුනුසුදුසු බව දන්නා නිසාය. එම නිසා අප නිතරම කථාකරන විට හොදින් සිතාබලා ප‍්‍රකාශ කිරීම තමන්ට මෙන්ම අනෙකාටද වැදගත් වේ.
      
                       යම් අවස්ථාවක වචනයකට කල හැකි මෙහෙවර ඉතාමත් ඉහළය. යම් පුද්ගලයෙකුට සැනසිමට ඇති එකම දේ තවකෙකුගේ වචනයන් විය හැකිය. යමෙකු මානසිකව පීඩා විදින විට ඔහුට ඇති එකම සැනසීම තවකෙකුගේ සිත සැනසෙන වචනයන්ය. එවැනි අවස්ථා ජීවිතයේ  ඕනෑ තරම් අපට මුණගැසී ඇත. සතුට මෙන්ම දුක ප‍්‍රකාශ කිරීමට බොහෝ පුද්ගලයන් භාවිතා කරන එකම දේ වචනයි. තවකෙකුගේ කටින් පිටකරන වචන අසන තවකෙකුට සිතට සහනයක් විය හැකිය. එමනිසායි දුකක් දැනුන  අවස්ථාවක අප එය තවකෙකුට ප‍්‍රකාශ කර සිතට සහනයක් ලබා ගැනීමට උත්සහ කරන්නේ එම නිසාය. තරුණ පිරිස් අතර මෙය දැකගත හැකි සුලබ කරුණකි. තමන්ගේ යහළුවන්ට සිය සිතේ තියන පීඩාවන් දුක ප‍්‍රකාශ කර ඔවුන්ගෙන් සැනසුම් ප‍්‍රකාශ බලාපොරොත්තු වේ. එම නිසා තරුණ අපට මෙම වචන භාවිතයේදී විශාල මෙහෙවරක් ඉටුකරයි. මන්ද ජීවිතයේ මානසිකව පීඩාවිදින කොටස් අතුරින් තරුණ පිරිස් ඉහලින්ම සිටින කොට්ඨාශයක් වීමයි. නමුත් එවැනි මානසික පීඩාවන්ගෙන් සිටින විට තවෙකෙකුගේ මෙම වචන ජීවිතයට හානිකර තත්වයන්ද ඇති කරවයි. එවැනි වචන ප‍්‍රකාශයන් නිසා ජීවිත හානිකරගත් බොහෝ තරුණ පිරිස් පිළිබද සිදුවීම්ද අපට අසන්නට මෙන්ම දකින්නටද ලැබෙයි. එම නිසා වචන භාවිතයේදී ඉතාමත් කල්පනාකාරී විය යුතුය. මන්ද තරුණ පිරිස් යනු ආවේගකරව තීරණ ගන්නා පිරිසක් නිසා යමෙකුට ප‍්‍රකාශයක් කිරීමේදී කල්පනාකාරිව ප‍්‍රකාශ කිරීමට කල්පනාකාරී වියයුතුය.
     
                   කට තිබු පමණින් කටට එන සියලූ ප‍්‍රකාශයන් පිටනොකර අවබෝධයෙන් යුතුව වචන භාවිතා කිරීමට සෑම පුද්ගලයෙකුම කල්පනාකාරි වියයුතුය. එය ඔබට මෙන්ම අනෙකාටද හානිකර නොවන්නේ එවිටය. එම නිසා අවේගකරව තීරණ ගන්නා පිරිසක් ලෙස තරුණ පිරිස් සිය කටින් පිටකරනු ලබන වචන පිළිබද හොදින් අවබෝධ කරගෙන ප‍්‍රකාශ කිරීම බොහෝ ගැටලූකාරී තත්වයන් මගහරවා ගැනීමට උපකාරී කරගත හැකිය. රැල්ලට යන ජීවිතයට ගසාගෙන යන්නට නොදි තමාගේම පෞර්ෂත්වයෙන් ජීවිතය දකින්නට උත්සහ කරමු. එය ඔබට මෙන්ම ඔබ අවට සිටින පිරිසද යහපත් මාර්ගයක ගමන් කරවයි. කට තිබු පමණින් සෑමවිටම දොඩවන්නට පුරුදු නොවී තරුණ පිරිසක් වශයෙන් සංයමයකින් යුතුව හොදින් සිතාබලා වචන ප‍්‍රකාශ කිරීමට සෑම අවස්ථාවකම උත්සහ කරමු. එය ඔබට මෙන්ම අනෙකාටද සිතට සහනයක් එකතු කරයි. ජීවිතය පීඩාවකින් තොරව සියලූදෙනා සමග සහයෝගයෙන් කටයුතු කිරීමට අවස්ථාව එමගින් උදාකරයි. 

Friday, July 27, 2018


                                           කතුවැකි භාෂාවට ආරම්භයක්

                             

                     


        සන්නිවේදන ඉතිහාසයේ දියුණුවෙමින් පැමිණි මාධ්‍ය අතර වැඩි ජනතාවකගේ ප‍්‍රසාදය හිමි වී ඇති මාධ්‍යයක් ලෙස පුවත්පත හදුනාගත හැකිය. ගුටෙන්බර්ග් විසින් මුද්‍රණ යන්ත‍්‍රය සොයා ගැනිමත් සමග පුවත්පතේ ආරම්භය සිදුවිය. පති‍්‍රකා වශයෙන් ආරම්භ වී පසුව පුවත්පත දක්වා වැඩි දියුණු විය. මේ ආදී ලෙස පුවත්පත් කලාවේ පරිවර්තනීය ස්වභාවයක් ක‍්‍රමක්ක‍්‍රමයෙන් සිදුවිය. ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත මගින් පුවත්පත අර්ථකතනය කැර ඇත්තේ ”පොදු පුවත්, ආරංචි හෝ සිදුවීම් ඇතුළත් කොට ශි‍්‍ර ලංකාවේ මුද්‍රණය කරනු ලබන හෝ පළ කරනු ලබන  පුවත්පත සිය නිර්මාණ හරහා සමාජ යථාර්තය පරාවර්තපත‍්‍රයක්  යනුවෙනි. ” පුවත්පත් මාධ්‍යවේදය සතු නිර්මාණාත්මක ප‍්‍රවර්ග වන ප‍්‍රධාන ශීර්ෂ පාඨ, උපශීර්ෂ පාඨ, කතුවැකි, වාර්තා, විචාරාත්මක ලිපි, තීරු ලිපි, ඡුායාරූප වාර්තා, කාටුන් ආදී බහුවිධ වු විශේෂාංග ස්වරූප හරහා විෂය මුලික ලෝකය කෙරෙහි සුවිශේෂ වු සබදතාවක් ගොඩ නැගෙන අතර එහි ප‍්‍රතිඵලයක් වශයෙන් සුවිශේෂි වු, අනන්‍ය වු සමාජ යථාර්ථයක් ගොඩ නැගෙන්නේය. මෙහිදී පුවත්පතක සුවිශේෂී වු භාෂා ශෛලියක් කතුවැකි භාෂාව තුලින් ඉදිරිපත් කරයි. පුවත්පතේ කතුවරයාගේ ප‍්‍රධාන ලියවිල්ල ලෙස ද හදුනාගත හැකි මෙම කතුවැකිය පුවත්පතට සුවිශේෂිත්වයක් එකතු කරයි. 
                                   
            කතුවැකි භාෂාව පිළිබදව සලකා බැලිමේදී කතුවරයාටම විශේෂිත වු ශෛලියක් අනුගමනය කරයි. කතුවැකි තීරුවක් යනු කුමක්දැයි හදුනා ගැනිමේදී එය පුවත්පතේ අනන්‍යතාව ප‍්‍රකට කරන ලියවිල්ල ලෙස සරලව හැදින්විය හැකිය. සමකාලීන සමාජ දේශපාලන ප‍්‍රස්තූතය පිළිබදව පුවත්පතේ දෘෂ්ටිය කතුවැකියෙන් විද්‍යාමාන වේ.මෙය කතුවරයාගේ වාක්‍ය ලෙසද සරලව හදුන්වයි.
           
        ”යම් අයුරකින් මුද්‍රණය කර ප‍්‍රකාශයට පත් කරන පුවත්පතක හෝ සඟරාවක ජ්‍යෙෂ්ඨ කතුවරුන් විසින් සිය මතය දක්වන කොටස කතුවැකිය වශයෙන් හැදින් වේ.”
                                                               (විකිපීයා විශ්ව කෝෂය )
         
                             මෙම කතුවැකිය පිළිබදව විවිධ මතදාරීන් විවිධ ලෙස අර්ථ දක්වා ඇත. කතුවැකිය පල කරන පිටුව කතුපිටුව ලෙස හදුන්වන අතර වචන 600-700 අතර ප‍්‍රමානයකින් රචනා කරයි. කතුවැකිය පුවත්පත් කලාවේ ආරම්භයේ සිට සම්මතව පැවත එන සාම්ප‍්‍රධායික ලේඛන විශේෂයකි. ජාතික පුවත්පතක ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය හෝ සමාජ දාෂ්ඨිය හෙලි කරන්නේ කතුවැකියෙනි. ප‍්‍රංශ ජාතික ඇල්බයා කැමු විසින් ප‍්‍රකාශ කර ඇත්තේ කතුවැකියක අඩංගු විය යුත්තේ එක් අදහසක් සහ උදාහරණ දෙකක් පමණක් බවයි. මෙවැනි විශේෂත්වයක් ඇති කතුවැකි පුවත්පතේ ගමන් මාර්ගය ජනතාව හදුනා ගත්තේ එහි පලවුන විශිෂ්ඨ ගණයේ කතුවැකි ඔස්සේය.

               මෙහිදී වැඩි ජනතාවක් කතුවැකි සදහා ආකර්ශනය කර ගැනීමට එයට යොදා ගන්නා ලද භාෂාව ප‍්‍රබල බලපෑමක් විය. නිර්මාණශිලී වු රසවත් භාෂා ශෛලියක් මෙන්ම ව්‍යාකරණමය භාෂා ශෛලියක් ද බොහෝ කතුවැකි රචනයේදී භාවිතා කරන බව විවිධ පුවත්පත්හි කතුවැකි තුලින් දැකගත හැකිය. විවිධ සමාජ ප‍්‍රශ්නයන් මෙන්ම එදිනට විශේෂිතම ප‍්‍රවෘත්තිය උදෙසා කතුවරයා  සිය අදහස හා මතවාදය කතුවැකිය තුලින් ඉදිරිපත් කරයි. එම නිසා පුවත්පතේ ගමනාන්තය කුමනාකාර දැයි වටහා ගැනීමට කතුවැකිය තුලින් පාඨකයාට කරුණු සපයයි. පුවත්පතේ මැද පිටුවක බොහෝ විට අන්තර්ගත කරන මෙම කතුවැකිය පුවත්පත් පාඨකයින් අතර ජනපි‍්‍රයම ලිපියක් ලෙසද හැදින්වීම වැරදි නැත.
         
                                 කවර කතුවැකි නිර්මාණකරුවේකුට වුව ද තම සමාජයේ කවර හෝ බලවේගයන්ගෙන් මිදිය නොහැකි වන්නේ ජාති , ආගම් , පංති භේද ආදී වශයෙන් සමාජ ආයතන තුල මිනිස් කි‍්‍රයාකාරකම් දෝලනය වන බැවිනි. පුවත්පත් මාධ්‍ය සම්බන්දයෙන් විවිධ කතුවරුන් පොදුවේ කෘති ගණනාවක් රචනා කර ඇති අයුරු එහි ඉතිහාසය අධ්‍යයනය කිරිමේන් දැක ගත හැකි වේ. සෑම පුවත්පතකම විශේෂාංග වලින් සමන්විත වන අතර කතුවැකිය එම විශේෂාංග අතුරින් පලකරනු ලබන ප‍්‍රදාන විශේෂාංගයකි. මෙරට කතුවරුන් විවිධ අවස්ථාවන්හි දී කතුවැකිය යන්න අර්ථ ගන්වා තිබේ. එම අර්ථ ගැන්වීම් අනුව කතුවැකි පිළිබද මුලික අවබෝධයක් ලබා ගත හැකිය. නමුත් කතුවරයාට විශේෂිතව එම අර්ථ ගැන්වීම් තුල  විවිධත්වයක් මේ පිළිබද පවතින අර්ථදැක්වීම් අනුව පැහැදිලි වේ.
       
               පුවත්පතක කතුවැකියක් රචනයේ දී එය ආවාට ගියාට කල නොහැකිය. කතුවැකියක් රචනා කරන කතුවරයාට ලේඛනය පිළිබද මුලික අවබෝධය පැවතීම වැදගත් වේ. සාර්ථක ලේඛනයක් බිහි වීමටනම් රචකයාට සමාජය පිළිබද ,පුද්ගල හැසිරිම් රටාව පිළිබද මුලික අවබෝධයක් පැවතිය යුතුය. මෙය කතුවැකි රචකයෙකුට ඉතා වැදගත්ය. කතුවැකිය පාඨකයාට ග‍්‍රහනය කර ගන්නා අයුරින්, අදහසක් ලැබෙන පරිදි, නීරස නොවන හා පණිවිඩයක් දියහැකි පරිදි රචනා කලයුතුය. පුවත්පත් කතුවරයා පිටු ගණනාවකින් කිවයුතු දේ ලඝු කොට ගැඔුරින්, අර්ථවත් අයුරින් නිර්මාණාත්මක සන්නිවේදනය හරහා පාඨකයා වෙත ලබා දීමක් අද දැකිය හැකිය. තීරු ලිපිකරුවා ද කතුවැකි රචකයා හා සමානවම ආර්ථික , සමාජීය , සංස්කෘතික , දේශපාලනමය පදනම් කොට ගෙන තීරු ලිපි රචනා කලද එය කතුවැකියට සාපේක්ෂව වඩාත් නිර්මාණාත්මක ලියවිල්ලක් ලෙස පුවත්පතේ ඉදිරිපත් කරනු  ඇත. වර්තමාන මාධ්‍ය භාවිතය තුල නිර්මාණශීලි බව විද්වතුන්ගේ මතවාදයන් අනුව පැහැදිලි වේ. ඒවා නම් රචනාවට මාතෘකා වු විෂය ගැන හොදින් සිතා බැලිම , දෘෂ්ටිකෝණයේ ස්ථාවර බව , වේගවත්ව කලම්බනයට පුළුවන්කම තිබීම , සම්බාවනීයභාවය හා අධිකාරීභාවයක් තිබීම යනාදිය එයින් කිහිපයක් ලෙස හදුනාගත හැකිය.
        
                             වර්තමාන තාක්ෂණික දියුණුවත් සමග පුවත්පත් අතර ඇත්තේ තරඟයකි. මේ නිසා එක් එක් පුවත්පත් වල කතුවැකි නිර්මාණයේ දී රචකයා යොදා ගන්නා භාෂාවේ ද වෙනස්කම් පවතී. රචකයා හැමවිටම උත්සහ දරන්නේ වැඩි පාඨක පිරිසක් ග‍්‍රහනය කරගත හැකි පරිදි කතුවැකි නිර්මාණය කිරීමටයි. එවිට අළුත් පාඨක පිරිසක් නිරතුරුවම පුවත්පත වටා රැස්කර ගැනීමට කතුවැකි රචකයාට අවස්ථාව ලැබෙනු ඇත. සන්නිවේදන මාධ්‍ය පිළිබදව පොදුවේ පොත්පත් රැසක් පාඨකයා වෙත ලැබී තිබුණත් පුවත්පත් කතුවැකිය පිළිබදව ලියැවී ඇත්තේ ඉතා අඩු කෘති සංඛ්‍යාවකි. ඒ අනුව බලන විට පුවත්පත් මාධ්‍ය පිළිබදව වර්තමානයේ දක්වන අවධානය හීන වී ඇත්දැයි ගැටළු පැන නගී.  ඕනෑම ලේඛකයෙකු සෑම විටම යමක් ලියන්නට ගන්නේ තමන්ට ප‍්‍ර‍්‍රයෝජනයක් ඇත්නම් පමණි. නමුත් කතුවැකි රචකයාට එයට එහා ගිය අරමුණක් පවති. යම් දෙයක් පාඨකයාට ලබා දීම මුලික කරගනි. නමුත් කතුවැකි රචනා කරන කතුවරයා සිය පෑනෙන් කරනු ලබන සමාජ බලපෑම පිළිබදව එක් වරක් නොව දසවතාවක් සිතා බලා රචනා කරන්නේනම් එය උසස් ගණයේ ලිපියක් වනු ඇත. 
           
                    පුවත්පතක කතුවැකියේ භාෂා ලක්ෂණ පිළිබදව සලකා බැලීමේදී සම්මත වියරණ නීති නොබිද, පොදු ජන බසින් ලිවීම වැදගත් වන අතර යමක් ලියන විට ඇතුලාන්තයෙන්ම ලිවිය යුතුය. ව්‍යාජ ලියවිල්ල නගන්නේ හිස් හඩකි. එය පුහු පොලයකි. පුහු පොලේ බිදෙන විට ඇසෙන උස් හඬ බොහෝ හිස් රචනාවලින් ද ඇසේ. අව්‍යාජ ලියවිල්ල හුදු ඇත්ත මිහිරිය. ජන විඥානය හැසිරවීමේ, සසල කිරීමේ සවිය ඇත්තේ එයටය.  ලෙස  දෙනගම සිරිවර්ධන කතුවරයා පුවත්පත් විශේෂාංග රචනය නම් පොතෙහි සදහන් කර ඇත. අවිඥානයෙන් ලියන කතුවරයාගේ කතුවැකිය ඉහත පුහුපොලය මෙනි. පාඨකයාගේ හදවතට කථා කළ හැකි භාෂාවක් කතුවැකියක පැවතිය යුතුය. බී.ඒ.සිරිවර්ධන නිර්මාණකරු වු  කලි පාඨකයාගේ හදවතට කථා කල මානව පේ‍්‍ර්මීන් ඇසුරු කළ පුද්ගලයෙකි. මේ ආදි වු නිර්මාණශීලි භාෂාවක් සහිත කතුවැකිය සාර්ථක සමාජ මෙහෙවරක් ඉටු කරයි.  
             
                                පුවත්පතේ ආරම්භක අවධියේ සිට අන්තර්ගත කරන මෙම කතුවැකිය පුවත්පතට නව මාවත් එලිකලහ. ප‍්‍රහාරය එල්ල කළයුතු අවස්ථාවක කතුවැකිය ප‍්‍රධාන අවිය බවට පත් කරගත් අවස්ථාවන්ද මෙම කතුවැකි ආගමනයේදී හදුනාගත හැකිය. පුවත්පතක අනෙකුත් ලිපි වලදී විශේෂත්වයක් ගන්නා මෙම කතුවැකිය සෑම පුවත්පතකම වැදගත්ම අදහස් ප‍්‍රකාශනය ලෙස හැදින්විය හැකිය. කතුවරයාගෙන් කතුවරයාට වෙනස් භාෂා ශෛලියක් භාවිතා කරන මෙම කතුවැකි භාෂාව නිවැදිව මෙන්ම නිර්මාණශීලිව භාවිතා කිරීමට සෑම කතුවැකි රචකයෙක්ම අවධානය යොමු කරන අතර එය පුවත්පතේ ඉදිරි ගමනාන්තර තීරණය කරන තීරකය ලෙසද හැදින්විය හැකිය. ඒ අනුව පුවත්පතක අන්තර්ගත අනෙකුත් ලිපි අතර කතුවැකියට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයක් බව පැහැදිලි කර ගත හැකිය. 

Thursday, July 26, 2018



                  සල්ලි දී සිරවෙන තාරුණ්‍යයේ සිරකූඩුව
                     
               

     

          තාරුණ්‍යය ජීවිතයේ සුන්දරතම කාලසමයයි. ඒ සුන්දරත්වයට අපි සියලූ දෙනා ඇලූම් කරන අතර ඒ කාලයේ මිහිරියාව විඳින්නට සියලූ දෙනාට පවතින්නේ දැඩි ආශාවකි. එසේම තරුණ ජීවිතයේ බොහෝ දේ සදහා ඇලූම් කරන්නේ එම ආශාවන් මත ගොඩනැගෙන සිතුවිලි මුලිකවය. මේ අතුරින් තාරුණ්‍යයේ උන්මාදයක්ව පවතින ස්මාර්ට් ෆෝන් තරුණ ලොව තුළ රජ කරමින් වර්ධනය වෙමින් පවතී. තාරුණ්‍යයේ සිහින අතුරින් කවුරුත් සැබෑ කර ගන්නට වැර දරන එක්තරා සිහිනයකි මිල අධික නවීනතම දුරකථනයක් හිමිකර ගැනීම. තමාටම කියා අධික මුදලක් වියදම් කරමින් ජංගම දුරකථනයක් මිලදී ගැනීමට තරුණ පිරිස් අදවන විට යොමු වී ඇත.  සන්නිවේදන කි‍්‍රයාදාමයත් සමග ගමන් කිරීමේදී ජංගම දුරකථනයක අවශ්‍යතාවය මතුවීම අරුමයක් නොවේ. එනමුත් එම අවශ්‍යතාවන්ට එහාගිය උන්මාදයක් මෙම ස්මාර්ට් ෆෝන්  පෙරළිය තරුණ කණ්ඩායම් අතර වඩවාලමින් පැමිණ ඇත. එකිනෙකා සමග සහසම්බන්දතාවයන් ගොඩනගා ගැනීමේ අවශ්‍යතාවය මත පැමිණි ජංගම දුරකථනය ජීවිතයේ පැවැත්මට අවශ්‍ය වු අත්‍යවශ්‍යම උපාංගයක් වී ඇති බව තරුණ පිරිස දකින කවරෙකුට වුවද පසක් කරගත හැකිය.
                       
                                      වර්තමානයේ බොහෝ තරුණ පිරිස් විවිධ මාදිලියේ ජංගම දුරකථන මිලදී ගැනීමේදී ප‍්‍රධාන වශයෙන් බලාපොරොත්තු වන්නේ දුරකථනයෙන් ඡුායාරූප ලබාගැනීමට සුපැහැදිලි කැමරාවකි. සෙල්ෆි මාෆියාව මේ අතුරින් ඉහලම ස්ථානයක සිටින අතර තරුණ විලාසිතාවන් අතර ජංගම දුරකථනයද එක්වෙමින් පවති. විවිධ ඇදුම් පැළදුම් මිලදී ගෙන හැඩ පෙන්වීමට, මැක්ඩොනල්ඞ්, KFC වැනි ඉහල පංතියේ පිළිගැනීම් වලට ලක්වන ස්ථානයන්ට ගියවිට උද්දාමයෙන් සෙල්ෆියක් ගෙන අන්තර්ජාලයට මුදාහැරිමට තරුණ පිරිස් දෙවරක් නොසිතයි. එනමුත් ඒ පිටුපස ඇති හානිකරබව නම් අමතක කරමින් සිටි. පසුගිය කාලය තුල මේ සදහා සිදුවීම් ගණනාවක් සාක්ෂි දරයි.
           
                 තැන නොතැන බලා සෙල්ෆි උන්මාදයෙන් කි‍්‍රයාකිරීමට ගොස් සිය තරුණ ජීවිත අහිමි කරගත් සිදුවීම් තරුණ පිරිස් අතර එක්තරා සිදුවීමක් පමණක්ම වී ඇත. දුම්රියක ගමන්කරමින් සිටින අවස්ථාවේ සෙල්ෆි ගැනීමට ගොස් ජීවිතය අහිමි වු විදේශීය තරුණිය මෙන්ම තවත් විවිධ සිදුවීම් තුළින් අකාලයේ ජීවිතය අහිමි කරගත් සිදුවීම් අපිට දකින්නට මෙන්ම අසන්නටද ලැබුනි.ඒ කුමන සිදුවීමකින් වුවද තරුණ පිරිස් උගතගෙන ඇති පාඩමක් නම් දකින්නට නැත. සෙල්ෆි යනු ජංගම දුරකථනයේ තරුණ පිරිස් ලබන එක් වින්දනයක් පමණි. මුහුණුපොතේ සැරිසැරිමටද වැඩිදෙනෙකු භාවිත කරනුයේ ජංගම දුරකථනයයි. අතඇති ජංගම දුරකථනය තැනක් නොතැනක් බලා අතට ගන්නා යෞවනයන් දෑගිලි හසුරවා විගසින් පිවිසෙන්නේ මුහුණුපොතටය. දවසකට එකවතාවක් හෝ මුහුණුපොත තුල සැරිසැරීමට නොහැකි වුයේ නම්  කෑවේ නෑ වැනි හැගීමක් තාරුණ්‍යයේ පසුවන්නන් තුල ඇතිවේ. මෙහි සීමාමායිම් වලින් තොරව සැරිසැරීම නිසා එහි යටගික භයානකත්වය ඔවුනට නොපෙනේ. අවසානයේ ජීවිතයේ විනාශ මුඛයට ඇදවැටෙන තුරු එහි යටගියාව ඔවුනට අවබෝධ නොවෙනු ඇත. ”අතඇති ජංගම දුරකථනය තමන්ගේ නම් කවරෙකුගේ බාධාවක්ද” යන සිතුවිල්ල ඔවුන් තුලින් මතුවේ. නමුත් අතඇති එම උපකරණයේ ප‍්‍රමාණයට එහා ගිය යහපත් මෙන්ම අයහපත් කාර්යයන් රැසක් මිශ‍්‍රවීමක් ලෙස පවතින බව අමතක නොකල යුතුය.  
                         
                                       වර්තමාන සමාජය තුල තරුණ කණ්ඩායම් තුල පරිකල්පනීය ශක්තිය හීනවීමට ප‍්‍රධාන සාධකය ලෙස ජංගම දුරකථන භාවිතය හැදින්විය හැකිය. අද සිටින බොහෝ තරුණ පිරිස් දවසින් හරි අඩකටත් වඩා ගතකරනුයේ ජංගම දුරකථනයේ සැරිසැරීමටය. එම නිසා යමක් සිතාබලා කලනොහැකි තත්වයක් ඇතිවී ඇති අතර තරුණ පිරිස්හි සිතීමේ ශක්තිය මොටකරමින් පවතී. මහ මාර්ගයක, බස් රථයක, දුම්රිය පොළක ආදී කුමන ස්ථානයක වුවද දකින්නට ලැබෙන්නේ වයර් දෙකක් කන් දෙකට ගසාගෙන අසිහියෙන් මෙන් ගමන් කරන තරුණ පිරිසකි.ඔවුන් සිටින්නේ ඔවුනගේ ලෝකවලය. අවට කුමක් සිදුවුවත් ඔවුනට එය අදාල නැත්තා සේ ගමන් කරයි. අවට සිටින්නේ කවුද, කුමනාකාර පුද්ගලයන්ද ඔවුනට වැටහීමක් නොමැත. කථාබහකින් තොරව බිරන්තට්ටු වී දුරකථනයට යටවෙමින් ගමන් කරන ඔවුනට සිහි ඇත්තේ ජංගම දුරකථනයෙන් මවන සිහින ලෝකයට පමණි. එනමුත් එයින් වන කායික මෙන්ම මානසික ආබාධයන් පිළිබද වැටහීමක් නොපවතී. මොලයේ කි‍්‍රයාකාරීත්වය අකර්මණ්‍ය වීම මෙන්ම ශ‍්‍රවණාබාධයන්ට ප‍්‍රධාන හේතු සාධතය වන්නේ ජංගම දුරකථන භාවිතයයි. තරුණ සිත් තුල ඇතිවන නිර්මාණශීලි ආකල්පයන් හීනවී පරිකල්පන ශක්තිය මොට කරමින් දුරකථනයට යටවන හීනමානයන් ඔවුන් තුළ ගොඩනැගෙමින් පවති. මෙය කොතරම් යෞවනයන් අතර ග‍්‍රහනය වී ඇද්දැයි පැවසුවහොත් ඇදුම් අදින්නට අමතක වුවත් දුරකථනය අමතක නොකිරීමට තරම් මානසික පරිසරටයක් නිර්මාණය වී ඇත.
               
                                          වේලාවක් කලාවක් නොමැතිව බොහෝ අවස්ථාවන්හි අනවශ්‍ය දේ සදහා දුරකථනය භාවිත කරමින් අපතේ හරිනු ලබන කාලය ඔවුනගේ ජීවිතයට නැවත ගැනීමට නොහැකි බව තරුණයින් මතකයේ රදවා ගැනීම වැදගත් වේ. මෙය ඔවුනගේ අනාගත ජීවිතයටද තර්ජනයකි. රැුල්ලට යන දුරකථන මාදිලියන්ට යට නොවී අවශ්‍ය සන්නිවේදන අවශ්‍යතාවයන් සපුරා ගන්නේ නම් පවතින තත්වයන්ට වඩා ඔවුනගේ අනාගතය සුපැහැදිලි වනු ඇත. ජීවිතයේ වැදගත්ම කාලය ලෙස තාරුණ්‍යයේ පසුවන සමය හැදින්විය හැකිය. අධික මුදලක් වියදම් කරමින් ගත් ස්මාර්ට් දුරකථනය තරුණ ඔබගේ ජීවිතය නොකරගෙන යථාර්තය දෙස දෑස් විවර කල බැලීමට උත්සහ කලහොත් එය ඔබගේ ජීවිතයේ එක්තරා සාර්ථක ඉමක් වෙත රැගෙන යයි. තම අතින්ම වැඩි මුදලක් වියදම් කරමින් ගත් දුරකථනයට ඔබේ ජීවිතය සිර නොකර එපිට ලෝකය විමසිල්ලකින් බැලීමට උත්සහ කළ යුතුය. තාරුණ්‍යය තුල ගොඩනැගෙන නිර්මාණශීලි දොරගුළු හැරදා ලෝකයේ සියලූ දේ තුල සැරිසරන්නට පැවතිය යුතු ඉඩ තරුණ ඔබ විසින්ම නිර්මාණය කරගන්නට උත්සහ කරමු.  
              

Saturday, July 21, 2018



                                                      නොමියෙන සෙනෙහස






උදාගිර හිරු සේ ප‍්‍රභාවත්ව
සුපිපෙන පියුම් සේ සුවඳවත්ව
සයුරට රළ සේ අත්නොහැර
ඔබයි මා ලද නොනිමි සෙනෙහස......


මහා මන්දිර විදුලි එළි මැද
පහන් සිළුවෙන් එළිය දුනි ඔබ
සෙනෙහසේ ඇති සදාතන බව
කියා දුන්නේ ඔබේ සෙනෙහස


ජීවිතේ ඇති කටුක අර්ථය
නිතිත් පහදා යා යුතුය මඟ
නොහැර හිදිමින් මගේ පසුපස
කියා දුන්නේ ඔබ නොවේද සඳ....

                                                                   
                                                                    ලොවම පුද ලද ඔබේ සෙනෙහස
                                                                    පුදමිපා යුග දෝතින්ම බැඳ
                                                                    නොමියෙනා සෙනෙහසක් දුන් ඔබ
                                                                    මවම වේවා සසරේ හැමදින......

Thursday, July 19, 2018


                      

                          වල්වැදෙන පේ‍්‍රමයේ යථාර්තය
                       



                වයස් භේදයකින් තොරව තාරුණ්‍යයේ වැඩිදෙනෙකු කථාබස් කරන අත්විදින හැඟීමකි පේ‍්‍රමය. පේ‍්‍රමය වු කලී අතිසංකීර්ණ මාතෘකාවකි. එහෙයින් ඒ පිළිබදව අර්ථකතන සැපයීමට හෝ නිර්වචන දීම මහත් වු අසීරු කර්ත්‍යවයකි. මෙය බොහෝ විට එකිනෙකා අත්විදින හැගීම් මත ඔවුනොවුන් අර්ථකතනය කරන හැඟිමකි. සමහරෙකුට පේ‍්‍රමය පුජනීය, උත්තරීතර හැගීමකි. නමුත් ඒ අතුරින් තවකෙකුට ජීවිතය විනාශ මුඛයට ඇදදැමු ගිණි පුපුරකි. ඒ කෙසේ වුවද සමස්ථ ලෝක ධර්මයාට පේ‍්‍රමය බලපානුයේ නන් අයුරින් වග අප කවුරුත් දන්නා යථාර්තයයි. නමුත්,
”         
''ජීවිතයේ අමෘත පානය පේ‍්‍රමයයි,
                                           පේ‍්‍රමය කියන්නේ ජීවිතයයි”
           
                               ලෙස ජෝසෆ් ජෝන්ස්ටන් දැක්වු අර්ථකතනය වැඩි පිරිසකගේ පිළිගැනීමයි. අත්විදි හෝ අත්විදින වැඩි දෙනෙකු පේ‍්‍රමය නැමැති හැගීම ජීවිතයට අත්‍යවශ්‍ය බව පිළිගනි. ඔවුන් එය සොයා යයි. එය සැබෑවකි. මිනිස් ජීවිතයේ පැවැත්ම උදෙසා පේ‍්‍රමය නම් මානවීය බැදීම අත්‍යවශ්‍ය සාධකයක්ය. ඒ අතුරින් යොවුන් පේ‍්‍රමයට හිමිවනුයේ සුවිශේෂි තැනකි. හිරිමල් යෞවනය එළඹෙත්ම පේ‍්‍රමයේ මල්හීසර වැද ජීවිතය සුන්දර මෙන්ම අසුන්දර කරගන්නා උත්තුංග පේ‍්‍රමවන්තයින් සමාජයේ අදවන විට විරල නොවනු ඇත. 
                                     
                ජීවීතයේ දී මාපිය දුදරු පේ‍්‍රමය, සහෝදර පේ‍්‍රමය, ආධ්‍යාත්මික පේ‍්‍රමය, ලෞකික පේ‍්‍රමය ආදී විවිධ ප‍්‍රභේද යටතේ පේ‍්‍රමය නැමැති හැඟිම අපට උරුම වේ. නමුත් වර්තමාන සමාජ වටපිටාවට අනුව හිරිමල් යෞවනයේ වැඩිදෙනෙකු සොයා යන්නේ තම යෞවනත්වයේ විරුද්ධ පාර්ශවයකින් ලැබෙනා පේ‍්‍රමයකටයි. වැඩි පිළිගැනීමකට අනුව එය  හරි සුන්දරයි. එම නිසා අකුරු ශාස්ත‍්‍රයවත් හරිහැටි අවසන් නොකර ජීවිතයේ පළමු තැන මෙම පේ‍්‍රමනීය හැඟීම වෙත යොමු කිරීමට ඔවුන් උත්සහ ගනී. එය ජීවිතයේ සියල්ල සර්ව සම්පුර්ණ කිරීමට ප‍්‍රමාණවත් බව ඔවුනගේ මතවාදයයි. මෙයට රැල්ලට යන සමාජ වටපිටාව ද බලපෑම් කරන අතර ඔවුනොවුන් එවැනි සමාජ බිල්ලන්ට කොටුවීම මත නිවැරදි මාර්ගය නොදකි. එනමුත් නවයෞවනයන් වැඩි දෙනෙකුට එයින් අත්වී ඇති ඉරණම ඛේදවාචකයකි. ජීවිතයේ තමන් යායුතු මාර්ගය හරිහැටි තීරණය කලයුතු මෙවන් සමයක හැඟී වලට මුල්තැන දී තීරණ ගැනීම මත බොහෝ පිරිසක් එහි විනාශකාරී අත්දැකීම් වලට මුහුණදීමට සිදුවී ඇත.
                     
                               නවීන පන්නයට අනුව හැඩවැඩ වන විලාසිතාවන්ගෙන් ද, හමේ පැහැයට වැඩි කැමැත්තක් මුල් ස්ථානයක් හිමිකර දෙන යෞවනයන් පේ‍්‍රමය නැමැති හැගීම ඇතිවීමට ද මෙවැනි පටු ආකල්පයන් මත මුල්ස්ථානය ලබාදෙයි. එයා හරි හැන්සම්, එයා ගොඩක් පොෂ් යන නවරැල්ලේ වචනාර්ථ කොයිකා අතරත් සිත්තුල තැම්පත් වී ඇත. ලස්සන රුවක් දුටුවිට අපගේ දෑස් ඒ වෙත යොමු වීම ස්වභාවික සංසිද්ධියකි. නමුත් පේ‍්‍රමය නැමැති හැගීම් වලට එවැනි ලක්ෂණයන්ට පෙර එකිනෙකාගේ හැඟීම් ආකල්පයන් ගලපා ගැනීම සිදුකල යුතුය. එක් වහලක් යටට පැමිණ ජීවත් වීමට හැකි වටපිටාවක් භෞතික වශයෙන් මෙන්ම මානසික වශයෙන්ද නිර්මාණය කර ගැනීම වැදගත් වේ.  මන්ද නොගැලපීම් මත ඇති කර ගන්නා පේ‍්‍රමයන් මත යුගදිවියට යන බොහෝ පිරිස් නොගැලපීම් ගලපා ගන්නට උත්සහ ගනී. නමුත් ඒ වන විට ඔවුන් ජීවීතය නොගැලපීම් වලින් බැදී අවසන්ය. මෙහි යථාර්තය අවසානයේ දෙදෙනා දෙපැත්තකට වීම හෝ එකිනෙකා කෙරෙහි වෛර සිත් බැදීමයි. එම නිසා සුදට, රූපයට නොව ආකල්පයන් දෙස බලා ගැලපීම් මත හැගීම් ඇතිකර ගැනීම උචිත කි‍්‍රයාපිළිවෙතයි.
           
                            සමාජය පිළිබදවත් හරිහැටි අවබෝධයක් නොමැතිව පාසල් සමයේම මෙවැනි ජීවීත තීරණ ගැනීමට අදවන විට බොහෝ යෞවන පිරිස් යොමුවෙයි. දෙමාපිය, සහෝදර පේ‍්‍රමය පසකලා වෙනත් පුද්ගල පේ‍්‍රමයන් සොයා යාම වර්තමාන නව යෞවනයන්ගේ සුලභ ලක්ෂනයකි. නමුත් එවැනි පේ‍්‍රමයන්ට ඇත්තේ කෙටිආයු කාලයක් පමණි. අතීතයේ පුද්ගලයන් පේ‍්‍රමය නැමැති හැගිම් පිළිබද තීරණ ගත්තේ තම ජීවිතයද ගලපා ගනිමින්ය. ජීවිතයට ගැලපෙන අයුරින් තම සහකරුවා හෝ සහකාරිය තෝරා ගැනීම මත ඔවුනගේ බැදීම් ශක්තිමත් අත්තිවාරම් බැන්දහ. නමුත් එම තත්වය වර්තමාන ලාංකීය සමාජයේ ගිලිහෙමින් යයි. වල්වැදි යන පේ‍්‍රමයන් නිසා විවාහයන් බොහොමයක් අසාර්ථක අන්දමින් ගෙවෙයි. 
                                 
                         තමන්ගේ ජීවිතයට කොටස්කරුවකු තෝරා ගැනීමේදී මොහොතක් මේ පිළිබදවද අවධානය යොමු කරන්න. රැල්ලට යන සමාජයට අනුව ජීවීතය ගසාගෙන යන්නට ඉඩනොදී අනාගතය දෙස දුරදක්නා නුවණින් බලා තීරණ ගන්න. පේ‍්‍රමය නැමැති හැගීම හරිහැටි තෝරාබේරා ගනිමින් එහි සැබෑ සුන්දරත්වය අත්විදින්නට උත්සහ ගැනීම මත ඔබේ ජීවිතය ද සාර්ථක ගමනක් ගෙනයයි. එම නිසා පේ‍්‍රමයට පෙර ජීවිතය ගලපා ගනිමින් තීන්දු තීරණ ගැනීම වර්තමානයේ වල්වැදෙන බැදීම් වලින් මිදි ජීවත් වීමට පිටිවහලක් කරගන්න. එය ඔබගේ හෙට අනාගතය එළිය කරයි. එම නිසා වල්වැදී යන පේ‍්‍රමයකට ඔබේ ජීවිතයද ගසාගෙන යන්නට ඉඩ නොදි එහි යථාර්තය හරිහැටි තෝරාගෙන ජීවිතය දකින්නට තරුණ අප කවුරුත් උත්සහ ගතයුතුය.    

Monday, July 16, 2018


මට අමතක නෑ......



   
මල් හීන මටත් නෙතු අග
සඳ ලෙසින් මගේ ලෝකෙට
වැඩිය දවස හිමි සඳ ඔබ
මට අමතක නෑ.....
මගේ පුංචි පෙම් හිත ලඟ
සඳ, හිරු, තරු
දිවුරා ඔබ
මට මාවත් නැති කලාව 
දැන් තරහක් නෑ.......

පුතුගේ සුරතල් මුවින්
තෙපළනා කිරි වදන්
ආදරෙන් අහන්නට
දැන් නුඹ ලඟින් නෑ......
නුඹ නොමැති ජීවිතේ 
මං විදින දුක් කන්ද
ගෙවුන එක දිනක්වත්
නුඹ දන්නේ නෑ......

මගේ සවිය පුතු බැවින්
දිවි ගෙවමි පුතු නමින්
පෙර කරපු පව් වැඩියි
මේ මගේ දෛවයයි
මට නැතත් පෙම් සුවය 
දුක් වෙන්නේ නෑ......
ආදරේ නාමයෙන්  
දුක් වෙන්නේ නෑ......

Friday, July 13, 2018



                      තරුණ ජීවිතයේ පිටු පෙරලන මුහුණුපොත
                 
                   

                                                           
           
                    සන්නිවේදන රටාවේ පෙරලියත් සමග ගමන් කරන නව යෞවන යෞවනියන් දවසට දෙවරක් හෝ ඊට වැඩි වාර ගණනක් තමන් කැමතිම සමාජ ජාල වෙබ් අඩවි වෙත සැරිසරයි. වර්තමානයේ අන්තර්ජාලයට ප‍්‍රවිශ්ඨ වීමට පරිගණකයම අත්‍යවශය නැත. එයට නවීන තාක්ෂණයෙන් යුතු නවීන දුරකථන මාදිලියන් තම සුරතටම අත්පත් වී අවසන් බැවින් එය ක්ෂණයෙන් අන්තර්ජාලයට ප‍්‍රවේශ වීමට මාර්ගය සකසා දෙයි. අදවන විට භාවිත වන සමාජ ජාලයන් ලෙස  facebook, viber, youtube, imo, WhatsApp, Yahoo, Skype  ආදී විවිධ නාමාවලියන්ගෙන් හදුන්වා දී ඇති සමාජ මාධ්‍ය හදුනාගත හැකිවේ. වර්තමානයට අනුව මේ අතුරින් මුහුණුපොත තරුණ කා අතරත් ජනපි‍්‍රයත්වයක් ලබා අවසන්ය. රටේ බහුල පිරිසකගේ සාමාජීකත්වය ලබාගෙන ඇති මෙම මුහුණුපොත වයස් භේදයකින් තොරව භාවිතයට ගනි. නව යෞවන පිරිස් අතර උන්මාදයක් ලෙස පවතින මෙම මුහුණුපොත තුල ඔවුන් දවසකට දහ දොළොස් සැරයක් සැරිසරන්නට අමතක නොකරයි. මොහොතකට හෝ මුහුණුපොතේ උඩට පහලය යන්නට ඇත්නම් එය ඔවුන්ට ප‍්‍රබල ආස්වාදයක් ගෙනඑයි. වසර ගණනාවක් එපිටින් හදුන්වා දි ඇති මෙම සමාජ මාධ්‍ය විවිධ අරමුණු මුලිකව පවත්වාගෙන යන අතර තරුණ පිරිස් සිය දුක, සතුට, ආදරය, වින්දනය ආදී බොහෝ සිතුවිලි දාමයන් මෙම මුහුණුපොත ඔස්සේ ප‍්‍රකාශ කිරීම ප‍්‍රධාන වශයෙන් දැක්විය හැකිය.  ඔබෙත් මගෙත් ජීවන කථාවේ යම් යම් සන්දිස්ථාන මුහුණුපොතේ පිටු අතරට එක්ව ඇතිබව නොරහසකි.
                            
                                  මුහුණුපොතේ කි‍්‍රයාවලිය පිලිබදව සලකා බලන විට නව යෞවනයන් සිය ජීවිතයේ සියලූ දේ ඒ හරහා මුදාහැරීමට පෙළඹී ඇත. මිතුරු වෙසින් පැමිණෙන බොහෝ පිරිසකගේ ආයාචනය අනුව ඔවුන් පිළිබදව කිසිදු හෝඩුවාවක් නොදැන තම ගිණුමේ මිතුරු නාමාවලියට ඇතුලත් කර ගැනීමට බොහෝ පිරිස් දෙවරක් නොසිතා කෙටිකලකින් නන්නාදුනන පුද්ගලයන් සමග සිය ජීවිතයේ සියලූ දේ බෙදාහදා ගැනීමට තරම් මුහුණුපොතේ මිතුදම ශක්තිමත් කරගන්නේ ඔවුන්ටද නොදැනීමය. මෙහි දී ව්‍යාජ නම්, ගම්, පින්තූර යොදා ගිණුම් පවත්වාගෙන යන වංචනිකයන්ගේ ගොදුරු බවට පත්වී ජීවිත විනාශ කර ගැනීමට පෙලෙඔුන සිදුවීම් ගණනකයට ලක්කල නොහැකි ලෙස දිනෙන් දින වාර්ථා වන්නේ මෙහි යටගියාව අවබෝධ කරගනිමින්ය. යහපත් අයහපත් යන කි‍්‍රයාවලියන්ගේ සංයෝගයකින් පවතින මෙම මුහුණුපොත භාවිතා කලයුත්තේ අවබෝධයෙන් යුතුව බව අමතක නොකල යුතුය. තම මුහුණු පොතේ ගිණුමෙහි හැඩවැඩ ඇති තම පින්තූරයක් දැමීමට ඇත්නම් එය ඔවුන්ට මහත් ආස්වාදයක් ගෙනඑයි. මේ පිරිස අතුරින් කාන්තාව ප‍්‍රධාන තැනක් ගන්නා අතර විලි ඇතිව හෝ නැතිව අන්තර්ජාලයට මුහුණුපොත හරහා මුදාහරින තම ඡුායාරූප අයුතු කි‍්‍රයාවකට ගොදුරක් වියහැකි බව අමතක නොකල යුතුය. මන්ද උන්මන්තක වෙසින් සිටින පුද්ගලයන්ගේ ගොදුරු බවට පත්වු සිදුවීම් මෙම මුහුණුපොතේ කි‍්‍රයාදාමය තුල අසන්නට මෙන්ම දකින්නට ලැබිමද සුලභ දෙයකි. එම කි‍්‍රයාදාමයේ අවසන් ප‍්‍රතිඵලය වන්නේ අද තරුණ ජීවීත ගණනාවක් සියදිවිහානි කර ගැනීමෙන් හෝ වෙනත් මාර්ගයකින් තම ජීවිතය අවසන් කිරීමයි.
                    
                  මුහුණුපොතේ කි‍්‍රයාදාමය තුල නවතම විලාසිතාව වන්නේ මුහුණුපොතේ ගිණුම් හරහා ශෝකය ප‍්‍රකාශ කිරීමයි. තම පවුලේ හෝ හිතවතුන්ගේ අවමංගල්‍යයකට සහභාගී වීමට වඩා මෙලෙස ශෝකය ප‍්‍රකාශ කිරීම අවිවේකී පිරිස අතර අද ජනපි‍්‍රයම අංගයකි. මෙමගින් පුද්ගලයා සමාජයෙන් දුරස් වු හුදකලා පුද්ගලයෙකු බවට පත්කර ඇත. මුහුණුපොත තුල යම් පුද්ගලයෙකුගේ සියදිවිනසා ගැනීමක් හෝ මරණය සිදුවු ආකාරය වීඩියෝ ගතකර හෝ ඡුායාරූප මගින් මුහුණුපොතට මුදාහැරීම මුහුණුපොතේ සමාජීකයින් අතර ජනපි‍්‍රයම කලාවකි.  මෑතකදී එයට හොදම නිදර්ශනය සපයමින් කලා ක්‍ෂේත‍්‍රයේ ජනපි‍්‍රය කලාකරුවෙකු ගෙලවැලලාගෙන සියදිවි හානිකරගත් සිදුවීම තම දුරකථනයේ වීඩියෝ ගත කිරීමේ සිදුවීම තම මුහුණුපොතේ ගිණුම හරහා ප‍්‍රචාරය කිරීමට අමතක නොකල මෙරට තරුණ පරපුරට එය එක් විලාසිතාවක් බදුවිය. නමුත් එවැනි ක්ෂණික ආවේගයන් මත සිය ජීවිතය අහිමි කර ගැනීමේ දර්ශන ජනපි‍්‍රය කරවීම එවන් පීඩනයකින් සිටින පුද්ගලයෙකුට ද එවන් පාපතර සිතුවිලි ඇතුල් කරනවා නොවේද? මෑතක් වනවිට දිවිනසා ගැනීම, ගෙල වැලලා ගැනීම දිනෙන් දින වර්ධනය වන්නේ මෙවන් මොළයක් නැත්තවුන්ගේ බොළද කි‍්‍රයාවලියන්ගේ ප‍්‍රතිඵලයන්ය. වයස් භේදයකින් තොරව ව්‍යාජ ගිණුම් හරහා බැදෙන පේ‍්‍රම සබදතා අතුරින් මව්පිය දුදරු සබදතාද ගැරහීමට ලක්වී ඇත. පියා සහ දියණිය අතර මෙලෙස ව්‍යාජ ගිණුමක් හරහා ගොඩනැගුන පෙම් සබදතාවන්ගේ යථාර්තය අවසන් වුයේ ඔවුන් මුණගැසුන විට දෙදෙනාටද එලොව පොල් පෙන්නමින්ය. එවැනි සිදුවීම් ගණනාවක් පසු කාලවකවානුවේ අසන්නට ලැබුනි. අනියම් පේ‍්‍රම සබදතාද මුහුණුපොතේ යටගියාවේ වැඩි ඉඩකඩක් විවර කර ගන්නා අතර එහි අවසන් ප‍්‍රතිඵලය වන්නේ පතිකුලයෙන් පැමිණි තම යුගදිවියද දෙදරායාමයි. බොහෝ විට තරුණියන් මෙම මුහුණුපොත ඹස්සේ මුහුණ දෙන ගැටලූ වලට ප‍්‍රධාන හේතු සාධකය වන්නේ ඔවුන් අන්තර්ජාලය හරහා මුහුුණුපොත භාවිතයේ දී මුහුණ දෙන දුර්වල පෞරුෂත්වයයි.
                    
                    ශ්‍රී ලංකාවේ මුහුණුපොත භාවිතා කරන පිරිසෙන් 45% වඩා අවුරුදු 18 ත් 24 අතර තරුණ තරුණියන්ය. මුහුණුපොත හරහා හඩක් නැති මිනිසෙකුට හඩක් ලෙස වැඩදායීකව භාවිතා කරන සුළු පිරිසක් ඒ අතුරින් නැතිවාම නොවේ. නමුත් වැඩි පිරිසක් මෙය අනිසි ලෙස සමාජ ව්‍යසනයකින් යොදාගනී. පරිගණක තිරයෙන් දකින්නාවු සියලූ දේ තම ජීවීතය කරගන්නා අය තමන්ගේ ජීවීතයද සොයන්නේ අදුරේ අතපත ගාන්නක් මෙන් ලොවපුරා අන්තර්ජාලයේ විසිරී ඇති මුහුණුපොතේ පිටු අතරින්ය. මෙවන් සමාජ මාධ්‍යයක් තම හැකියාවන්ට තෝතැන්නක් කරගන්නවා මිස එහි පෙන්වා දෙන බොළද උන්මාද පිටු අතරට තම ජීවිතය එකතු කර එහි පිටු අතර පෙරලෙන්නට ඉඩනොදී වගකීමකින් කටයුතු කිරීමට තරුණ පිරිසක් වශයෙන් තම අනාගතයට පිටිවහලක් වනබව සිහිතබා ගතයුතුය.    

Monday, July 9, 2018



                                       ටැබ් බෙදිල්ලේ නොදුටු ඇත්ත දකිමු.
               

        


                     රටේ අධ්‍යාපන කි‍්‍රයාවලිය තුළ වැඩි දෙනෙකුගේ අවධානය යොමු වු කරුණක් ලෙස 2017 අයවැය යෝජනා වලට අනුව උසස් පෙළ හදාරන සිසුන් 175,000 ක් සහ ගුරුවරුන් 28,000 ක් සදහා ටැබ් ලබාදීමේ යෝජනාව හදුනා ගත හැකිය. යහපාලනයේ අධ්‍යාපන බලවතුන්ගේ මෙම උත්තුන්ග යෝජනාව සදහා වෙන්වු මුදල රුපියල් බිලියන 5 ක් වන අතර එය ඔවුනට කජු ඇට වැනිය. අධ්‍යාපන ක්‍ෂේත‍්‍රය් බලවතුන්ට මෙම මුදල කජු ඇට වුවත් රටේ අහිංසක ජනයාට මෙම මුදල ධනස්කන්දයකි. අධ්‍යාපනය තුළ කථා කළයුතුම ගැටලූ පවතින මෙවන් කාලවකවානුවක ඒ පිළිබදව සිය අවධානය යොමු කරනවා වෙනුවට තම නම දිදුලවීමට සහ තරු පැලදීමට දඟලන මෙවන් බලවතුන් සැබවින්ම රටට මෙහෙවරක් ඉටුකරන්නේ දැයි ප‍්‍රශ්නවාචිය. පාසලට යන්නට පනං දෙකක් අතේ නැතිව ගල් ඇනෙන සෙරප්පු දෙකක් පැළදගෙන අමාරුවෙන් අධ්‍යාපනය ලබන්නට පාසල් යන සිසුන් අදටත් මෙරට බොහෝ දුෂ්කර පාසල් වල සිටී. එවන් දරුවන්ගේ අධ්‍යාපනය නැංවීමට පවතින දුෂ්කරතා විසදා නොදී අතට ටැබ් එකක් දීමට වෙරදරන මෙවන් බලවතුන්ගේ යෝජනාවන් ගැන කතා කිරිම ඉතාමත් කාලෝචිතය.  
            
                     නවීන අධ්‍යාපන ක‍්‍රමවේදයත් සමඟ උසස් පෙළ හදාරන සිසුන් වශයෙන් පරිගණක අධ්‍යාපනය ඉතාමත් වැදගත්ය. නව දැනුම සොයා යන්නෙකු වීම මත සිය දැනුම් මට්ටම ද පෝෂණය කරගන්නට මෙවන් නවීන මාධ්‍යයන් භාවිතා කිරිම සිය අධ්‍යාපනට උපකාරයක් වේ. නමුත් ඒ සදහා පාසල්වල පරිගණක පහසුකම් වැඩිදියුණු කරනවා වෙනුවට එම සිසුන්ට නොමිලේ ටැබ් ලබාදීම උචිත කි‍්‍රයාමාර්ගයක් නොවේ. තාරුණ්‍යයේ ආරම්භක අවධිය ගත කරන මෙවන් පිරිසකට නොමග යෑමට ඉඩකඩ පාසල තුළම විවර කරදීම අධ්‍යාපනමය වශයෙන් ගැටළුකාරීය. යහපත් දේට වඩා අයහපත් දේ සදහා අන්තර්ජාලය භාවිතා කරන වර්තමාන තරුණ පිරිසට මෙවන් මාධ්‍යයක් ඔවුන් අතට පත් කිරීම පාසල තුළම විනාශ වීමට අවස්ථාව උදාකරන්නේ දැයි සැකසංකා මතුවේ. මන්ද මෙවන් සිසුන් ටැබ් පරිගණකය ඔස්සේ අධ්‍යාපන කටයුතු පමණක්ම සිදුකරයිද, එසේම ඒ පිළිබදව එක් එක් සිසුන් ළගට ගොස් පරීක්ෂා කිරීමට ගුරුවරුන්ට කාලය පවති දැයි ප‍්‍රශ්නයකි. 
       
                                         අධ්‍යාපන ක‍්‍රමවේදයේ ගැඹුරටම ගොස් විමර්ශනය කලහොත් නිවසට විදුලියවත් නොමැතිව කුප්පි ලාම්පු එළියෙන් පාඩම් කරමින් ජීවිතයේ එළිය දකින්නට වෙරදරන්නන්ගේ කතාව පාසල් සිසුන් අතරින් වාර්තාවන එක් කතාවක් පමණි. කුසට අහරක් නොමැතිව, එකම නිල ඇදුම දිනපතා පිරිසිදු කර අදිමින්, සෙරප්පු කබල් දෙකක් දමාගෙන පාසල වෙත පැමිණෙන සිසුන් පිරිසක්ද මෙරට සිටින බව ටැබ් ලබාදෙන්නට වෙරදරමින් සිටින උතුමන්ලාට නොපෙනීම කණගාටුවට කරුණකි. කඩා වැටුන ගොඩනැගිලි පවතින, වැසිකිලි පහසුකම්වත් හරිහැටි නොමැති පාසල් ප‍්‍රතිසංස්කරණය කරන්නට නොපෙනෙන මෙවන් පාලකයින් ටැබ් යන්ත‍්‍රයක් පාසල් දරුවන්ගේ සුරතට ලබාදෙනුයේ ගස්යටට වී හෝ නවීන ලෝකය දැකීමට වියහැකිය. නැත්නම් මෙවන් වල්වැදුන සමාජ ක‍්‍රමවේදයක් තුළ අධ්‍යාපන කටයුතු ප‍්‍රතිසංස්කරණය කෙරෙහි අවධානය යොමුනොකර මෙලෙස  ධනස්කන්දයක් වැය කිරීමට උත්සහ ගන්නේ නැත.
  
                පාසල් වලට භෞතික මෙන්ම මානව සම්පත් බෙදීයාමේ විෂමතාවය සමග නිර්මාණය වී ඇති සුපිරි පාසල් සංකල්පයත්, එවැනි සුපිරි පාසල් සදහා ළමුන් ඇතුලත් කිරීමේ දැඩි තරඟය හා තදබදය හේතු සාධක කරගෙන ගොඩනැගුන යෝජනාවක් ලෙස ටැබ් බෙදිල්ල මෙරට අධ්‍යාපන ක‍්‍රමවේදයට ඇතුලත් කරන්නට දැඩි උත්සහයක සිටින අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයේ උතුමන්ලා ඊට පෙර මෙම පාසල් අධ්‍යාපනයේ ගැටලූ නිරාකරණය කර විසදුම් ලබා දෙන්නේ නම් මෙරට අධ්‍යාපනය තුළ සාර්ථක ඵල නෙලා දෙන්නට නොහැකි වන්නේ නැති බව මතක තබාගත යුතුය.