Monday, July 9, 2018



                                       ටැබ් බෙදිල්ලේ නොදුටු ඇත්ත දකිමු.
               

        


                     රටේ අධ්‍යාපන කි‍්‍රයාවලිය තුළ වැඩි දෙනෙකුගේ අවධානය යොමු වු කරුණක් ලෙස 2017 අයවැය යෝජනා වලට අනුව උසස් පෙළ හදාරන සිසුන් 175,000 ක් සහ ගුරුවරුන් 28,000 ක් සදහා ටැබ් ලබාදීමේ යෝජනාව හදුනා ගත හැකිය. යහපාලනයේ අධ්‍යාපන බලවතුන්ගේ මෙම උත්තුන්ග යෝජනාව සදහා වෙන්වු මුදල රුපියල් බිලියන 5 ක් වන අතර එය ඔවුනට කජු ඇට වැනිය. අධ්‍යාපන ක්‍ෂේත‍්‍රය් බලවතුන්ට මෙම මුදල කජු ඇට වුවත් රටේ අහිංසක ජනයාට මෙම මුදල ධනස්කන්දයකි. අධ්‍යාපනය තුළ කථා කළයුතුම ගැටලූ පවතින මෙවන් කාලවකවානුවක ඒ පිළිබදව සිය අවධානය යොමු කරනවා වෙනුවට තම නම දිදුලවීමට සහ තරු පැලදීමට දඟලන මෙවන් බලවතුන් සැබවින්ම රටට මෙහෙවරක් ඉටුකරන්නේ දැයි ප‍්‍රශ්නවාචිය. පාසලට යන්නට පනං දෙකක් අතේ නැතිව ගල් ඇනෙන සෙරප්පු දෙකක් පැළදගෙන අමාරුවෙන් අධ්‍යාපනය ලබන්නට පාසල් යන සිසුන් අදටත් මෙරට බොහෝ දුෂ්කර පාසල් වල සිටී. එවන් දරුවන්ගේ අධ්‍යාපනය නැංවීමට පවතින දුෂ්කරතා විසදා නොදී අතට ටැබ් එකක් දීමට වෙරදරන මෙවන් බලවතුන්ගේ යෝජනාවන් ගැන කතා කිරිම ඉතාමත් කාලෝචිතය.  
            
                     නවීන අධ්‍යාපන ක‍්‍රමවේදයත් සමඟ උසස් පෙළ හදාරන සිසුන් වශයෙන් පරිගණක අධ්‍යාපනය ඉතාමත් වැදගත්ය. නව දැනුම සොයා යන්නෙකු වීම මත සිය දැනුම් මට්ටම ද පෝෂණය කරගන්නට මෙවන් නවීන මාධ්‍යයන් භාවිතා කිරිම සිය අධ්‍යාපනට උපකාරයක් වේ. නමුත් ඒ සදහා පාසල්වල පරිගණක පහසුකම් වැඩිදියුණු කරනවා වෙනුවට එම සිසුන්ට නොමිලේ ටැබ් ලබාදීම උචිත කි‍්‍රයාමාර්ගයක් නොවේ. තාරුණ්‍යයේ ආරම්භක අවධිය ගත කරන මෙවන් පිරිසකට නොමග යෑමට ඉඩකඩ පාසල තුළම විවර කරදීම අධ්‍යාපනමය වශයෙන් ගැටළුකාරීය. යහපත් දේට වඩා අයහපත් දේ සදහා අන්තර්ජාලය භාවිතා කරන වර්තමාන තරුණ පිරිසට මෙවන් මාධ්‍යයක් ඔවුන් අතට පත් කිරීම පාසල තුළම විනාශ වීමට අවස්ථාව උදාකරන්නේ දැයි සැකසංකා මතුවේ. මන්ද මෙවන් සිසුන් ටැබ් පරිගණකය ඔස්සේ අධ්‍යාපන කටයුතු පමණක්ම සිදුකරයිද, එසේම ඒ පිළිබදව එක් එක් සිසුන් ළගට ගොස් පරීක්ෂා කිරීමට ගුරුවරුන්ට කාලය පවති දැයි ප‍්‍රශ්නයකි. 
       
                                         අධ්‍යාපන ක‍්‍රමවේදයේ ගැඹුරටම ගොස් විමර්ශනය කලහොත් නිවසට විදුලියවත් නොමැතිව කුප්පි ලාම්පු එළියෙන් පාඩම් කරමින් ජීවිතයේ එළිය දකින්නට වෙරදරන්නන්ගේ කතාව පාසල් සිසුන් අතරින් වාර්තාවන එක් කතාවක් පමණි. කුසට අහරක් නොමැතිව, එකම නිල ඇදුම දිනපතා පිරිසිදු කර අදිමින්, සෙරප්පු කබල් දෙකක් දමාගෙන පාසල වෙත පැමිණෙන සිසුන් පිරිසක්ද මෙරට සිටින බව ටැබ් ලබාදෙන්නට වෙරදරමින් සිටින උතුමන්ලාට නොපෙනීම කණගාටුවට කරුණකි. කඩා වැටුන ගොඩනැගිලි පවතින, වැසිකිලි පහසුකම්වත් හරිහැටි නොමැති පාසල් ප‍්‍රතිසංස්කරණය කරන්නට නොපෙනෙන මෙවන් පාලකයින් ටැබ් යන්ත‍්‍රයක් පාසල් දරුවන්ගේ සුරතට ලබාදෙනුයේ ගස්යටට වී හෝ නවීන ලෝකය දැකීමට වියහැකිය. නැත්නම් මෙවන් වල්වැදුන සමාජ ක‍්‍රමවේදයක් තුළ අධ්‍යාපන කටයුතු ප‍්‍රතිසංස්කරණය කෙරෙහි අවධානය යොමුනොකර මෙලෙස  ධනස්කන්දයක් වැය කිරීමට උත්සහ ගන්නේ නැත.
  
                පාසල් වලට භෞතික මෙන්ම මානව සම්පත් බෙදීයාමේ විෂමතාවය සමග නිර්මාණය වී ඇති සුපිරි පාසල් සංකල්පයත්, එවැනි සුපිරි පාසල් සදහා ළමුන් ඇතුලත් කිරීමේ දැඩි තරඟය හා තදබදය හේතු සාධක කරගෙන ගොඩනැගුන යෝජනාවක් ලෙස ටැබ් බෙදිල්ල මෙරට අධ්‍යාපන ක‍්‍රමවේදයට ඇතුලත් කරන්නට දැඩි උත්සහයක සිටින අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයේ උතුමන්ලා ඊට පෙර මෙම පාසල් අධ්‍යාපනයේ ගැටලූ නිරාකරණය කර විසදුම් ලබා දෙන්නේ නම් මෙරට අධ්‍යාපනය තුළ සාර්ථක ඵල නෙලා දෙන්නට නොහැකි වන්නේ නැති බව මතක තබාගත යුතුය.

4 comments: