Wednesday, August 22, 2018



                                          සිත් වේදනා....


    කවිකාර සිත පුරා
    පෙම් හැගුම් පුරවලා
    සිත් අහස එකලූ කර
    මතකයන් තවරලා
    ආදරෙන් දුටු සිහින
    හෙමි හෙමින් බිද දමා
    හැර යන්නේ ඔබමදෝ
    මාව තනිකර සදා.....

    පපුතුරට ගුලි වෙලා
    සෙනෙහසින් ලන්වෙලා
    ගෙව්නු කාලය අපේ
                                                                                     මතක විතරක් වෙලා
                                                                                     සිහින මල් ඉරිතලා
                                                                                     අපේ දෙනෙත් නැවතිලා
                                                                                     හැම මතකයන් අපේ
                                                                                     අතීතයේ තනිවෙලා.....

Tuesday, August 14, 2018


              අවශ්‍යය තැනට නැති අපේ සංවර්ධන ව්‍යාපෘති
       


                        රටක පාලන ව්‍යුහය තුළ කරනු ලබන ප‍්‍රධාන කි‍්‍රයාවලියන් අතර සංවර්ධන ව්‍යාපෘති ප‍්‍රධාන ස්ථානයක් හිමි කර ගනී. මෙය ග‍්‍රාමීය සංවර්ධනය සහ නාගරික සංවර්ධනය ලෙස ප‍්‍රධාන අංශ දෙකක් යටතේ හදුන්වාදිය හැකිය. ජනතාවගේ මතවාදයන්ගේ උපකාරයෙන් දේශපාලන කරලියට නැතහොත් පාලක තනතුරු වලට පත්වන පුද්ගලයන් විසින් අවධානය ලබා දෙන ප‍්‍රධානම කි‍්‍රයාවලිය මෙම සංවර්ධන ව්‍යාපෘතීන්ය. දිළිදු පවුල් සංවර්ධනය, මහාමාර්ග සංවර්ධනය, ජල ව්‍යාපෘති මේ අතර විශේෂ වන අතර එවැනි සංවර්ධන කි‍්‍රයාවලියන් අවශ්‍ය තැන හෝ අනවශ්‍ය තැන කොයිහැටි වෙනත් ආරම්භ කිරීමට නම් දෙපාරක් නොසිතන නිලධාරීන් මණ්ඩලයක් මෙරට වර්තමානයේ දැකගත හැකිය. අවසානයක් නොමැති ආරම්භක මුල්ගල් ප‍්‍රධානීන්ගේ අති උත්කර්ශවත් උත්සව තුලින් තැම්පත් කළ ආකාරයත් සමාජ වටපිටාව තුල කොතෙකුත් හමුවෙයි.
                            
                     සංවර්ධන ව්‍යාපෘතියක් වු කලී රට තුල පවතින ගැටලූකාරී තත්වයන් නිරාකරණය කිරීමට ගෙනඑනු ලබන සාර්ථක කි‍්‍රයාවලියකි. ජනතාවගේ බදු මුදලින් හෝ විදේශිය ආධාර මත ලැබෙන මුදල් මේ සදහා ආයෝජනය වන අතර එයට සුදුසුම යෝජනාවලියන් කි‍්‍රයාත්මක කිරීම මෙරට පාලක ව්‍යුහයේ වගකීම වේ. රට සංවර්ධනය කිරීමට මිස තව තවත් ණයබරිත රටක් කිරීමට උල්පන්දම් දීම නොකලයුතුය. එය මෙරට අහිංසක ජනතාවට මෙන්ම රටේ අනාගතයට ද ප‍්‍රබල තර්ජනයකි. සංවර්ධන ව්‍යාපෘති වු කලී නාගරිකව මෙන්ම ග‍්‍රාමීයවද සලකා බලා කි‍්‍රයාත්මක කලයුතු වැඩපිළිවෙලක් වේ. නාගරික සංවර්ධනයට පමණක් වැඩි ඉඩකඩක් ලබාදෙමින් ග‍්‍රාමීය සමාජයේ බොහෝ ගැටලූ වලට තවමත් විසදුමක් නොමැති මෙවන් වර්තමාන සමාජයක ඔවුනගේ කුසටද පහර ගසමින් වැඩිවන බඩු මිලගණන් සාධාරණ නොවෙනු ඇත. රටේ ඉහළ බලවතුන්ට නොමිලේ බෙන්ස් කාර් ලබාදීමට, විදෙස් සංචාර ලබාදීමට පෙර බොන්නට වතුර ටිකක් හරිහැටි නොමැති, ඇවිදගන්නට පාරක් නිසි ලෙස ගොඩ නොනැගුනු දුක්ඛිත ජීවීත ගත කරන දිළිදු ජනයා කෙරෙහි අවධානය යොමු කරන්නේ නම් මෙරටට ද සංවර්ධිත වු සාර්ථක වැඩපිළිවෙලක් කරා ගමන් කරවීමට බැරි නැත. අවශ්‍ය වන්නේ නිසිතැනට නිවැරදි වැඩපිළිවෙලක් යටතේ සංවර්ධන ව්‍යාපෘතීන් ආරම්භ කිරීමයි. 
         
            තමන්ට ඔටුනු පැළදවු ප‍්‍රදේශයට පමණක් සේවය කරමින් එම ප‍්‍රදේශයට පමණක් වු සංවර්ධන ව්‍යාපෘති වැඩිදියුණු කිරීමට වෙරදරන සමහරක් පාලකයින් මෙරටට සමස්ථ සමාජයටම සේවය කිරීම සදහා වගකීමෙන් බැදී සිටින බව අමතක කර ඇත. විවිධ නාමයන් පටබැදගෙන විශාල මුදල් ප‍්‍රමාණයක් යොදවා ආරම්භ කරන මෙවන් සංවර්ධන ව්‍යාපෘතීන් බොහෝමයක් අසාර්ථක මට්ටමින් කි‍්‍රයාත්මක වී ඇත. නිදර්ශන ලෙස මාර්ග සංවර්ධනයට ගෙන ආ ගල්, වැලි තවමත් පාරටම දියවී විනාශ වී යන අවස්ථා මෙන්ම අළුත්වැඩියා කරන ලද පාරවල් ටික දිනකට පසු වතුර ඉතිරියන වලවල් නිර්මාණය කිරීමට තරම් එම ව්‍යාපෘති ලාබාල වී ඇත. මෙයට ප‍්‍රධානම හේතුව එවැනි ව්‍යාපෘතීන්ට යොදවන මුදලින් වැඩිහරියක් යටිමඩි ගසාගෙන සාක්කු පුරවාගන්නා බුද්ධිමත් පාලක පිරිසක් මෙරට පාලන ක්‍ෂේත‍්‍රයට පත්වීමයි.
                
                           සංවර්ධන ව්‍යාපෘතියක් වු කලී සුදුසුමපරිදි අවශ්‍යතම ගැටලූ වලට විසදුම් ලෙස ඉදිරිපත් කරනු ලබන යෝජනාවලියන්ය. එය මුළු රටටම වැඩදායී ලෙස වගකීමෙන් යුතුව ආරම්භ කලයුතු කි‍්‍රයාපිළිවෙතකි. එනමුත් මෙරට සංවර්ධන ව්‍යාපෘති බොහෝමයක් කි‍්‍රයාත්මක වන්නේ් අවශ්‍යතාවන්ට එහාගිය අනවශ්‍යය දේ කෙරෙහිය. නාගරික මෙන්ම ග‍්‍රාමීය ගැටලූ කෙරෙහිද වැඩි අවධානයක් යොමු කරමින් රටේ තිරසාර සංවර්ධනය උදෙසා මෙම සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමත් ඒවා නිසිපරිදි අවසන් කිරීමත් උත්තුංග පාලකයින්ගේ වගකීම මෙන්ම යුතුකමකි. එය මෙරට සංවර්ධිත කි‍්‍රයාවලිය සාර්ථක දියුණුවක් කරා ගෙනයයි.

Wednesday, August 8, 2018


පාලක නින්දේ රජ වන සමාජය බිලිගත් මත් රකුසා
  
               



                     ශ්‍රී ලාංකීය සමාජ වටපිටාවට අනුව නිතිපතා කථාබහට ලක්කරන තවමත් විසදුමක් නැති ගැටලූවක් බවට මත්ද්‍රව්‍ය පැතිරී යාම හදුන්වා දිය හැකිය. මෙම ශ්‍රී ලාංකීය මත්ද්‍රව්‍ය ගැටලූව මෑතකාලීන සංසිද්ධියක් නොවේ. කි‍්‍ර.ව. 1505 දී පෘතුගීසින් සහ ලන්දේසි හා ඉංගි‍්‍රසී ආක‍්‍රමණයන්ට ලක් වු අතර ප‍්‍රථමයෙන් පෘතුගීසි ජාතිකයින් විසින් අබිං නැමැති මත්ද්‍රව්‍ය කෑම ලංකාවට හදුන්වා දෙනලදී. අබිං වගාව සංවර්ධනය කරමින් පැතිරී යාමත් සමග ගංජා නැමැති මත්ද්‍රව්‍ය වගාවන්ද මෙරට සංවර්ධනය වීම ආරම්භ විය. මෙය පසුකාලීනව 70 දශකයේ අවසානයේ දී ඉතා ප‍්‍රබල භයානක මත් ද්‍රව්‍යයක් වන හෙරොයින් භාවිතය ආරම්භ විය. 1978 විවෘත ආර්ථීක ප‍්‍රතිපත්තියේ බලපෑම් මෙම සමාජ ගැටලූව වර්ධනයට මුලබීජ සැපයු අතර එය ක‍්‍රමයෙන් මෙරට ජනයාගේ පරිහානිය ලගා කරන්නට විය. අදවන විට එය වැඩිහිටි සමාජයට වඩා බාලවයස්කාරයින් සහ තරුණ ප‍්‍රජාව තුල ජනපි‍්‍රයතම ඇබ්බැහිය වී ඇත. විවිධ නාමාවලියන්ගෙන් හදුන්වා දෙන මත් රකුසන් අද අපේ අනාගත පරපුර බිලිගනිමින් සිටියත් එයට වගකිව යුතු පාලකයින් තවමත් නින්දත් නොනින්දත් අතර පසුවේ.
                               
                       මෙම මත්ද්‍රව්‍ය භාවිතයත් සමග සමාජ ගැටලූ රාශියක් වර්ධනය වෙමින් පවති. සිය දිවිනසා ගැනීම, මානසික විකෘතීන් මෙන්ම පවුල් ආරවුල් වලට ප‍්‍රධාන හේතුව මෙම මත්ද්‍රව්‍ය ඇබ්බැහියයි. මෙලෙස හටගන්නා කුඩා ගැටලූ අද වනවිට මුළුමහත් සමාජයටම ප‍්‍රබල තර්ජනයක් වී ඇත. දුම්බීම තරුණ ප‍්‍රජාව අතරින් වැඩි වශයෙන් භාවිතා කරන මත්ද්‍රව්‍යයක් වන අතර කොතරම් මිල ඉහල ගියත් එය මිලදි ගැනීමට පසුබට නොවන තරමට එය නැතිවම බැරි දෙයක් බවට සමාජය තුල රජ වෙමින් සිටි. කුසට අහරක් නොමැති වුවත්, තමන්ගේ පොකට් එක එම්ටි පොකට් වුවත් කුලියක් කර හෝ ලබාගන්නා මුදල හවසට මෙවැනි මත්ද්‍රව්‍ය සදහා වැය කිරීම ඛේදවාචකයකි. මුදල් නොමැති අවස්ථාවන්හි සොරකම් කිරීමට, මිනී මැරුම්, දුෂණ මංකොල්ලකෑම් වලට දෙපාරක් නොසිතා යොමුවීමට අද මෙරට සමාජය හුරුවී සිටි. මෙරට ආර්ථීකයට වැඩි බදු ප‍්‍රමාණයක් මෙම මත්ද්‍රව්‍ය ආනයනය මත ලබාගන්නා නිසා එම මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කරනවා වෙනුවට එයට වැඩි මුදලක් අයකරමින් තව තවත් මෙරට ව්‍යාප්ත කරමින් සිටි. පෝයට පමණක් වසා තබන මත්ද්‍රව්‍ය වෙළද සැල් තුලින් ඔවුන් විශාල මුදලක් සිය ආර්ථීක සංවර්ධනයට ලබාගනී. නමුත් එමගින් දිනෙන් දින විශාල වන්නේ මෙරට අනාගතය බව ඔවුන් අමතක කරන්නේ මන්දැයි ගැටලූවකි. අද වෙනත් දෙමාපියෙකුගේ දරුවකු මෙයට ඇබ්බැහි වීම ඔවුනට නොදැනෙනවා විය හැකිය. නමුත් හෙට මෙරට ප‍්‍රධාන පෙළේ බලධාරියෙකුගේ දරුවකු මෙම මත් රකුසාට බිලිවුවහොත් එදාට ඔවුනට මෙහි යථාර්තය අවබෝධ වනු ඇත. 
          
              වැඩිහිටි සමාජය තුල පමණක් නොව පාසල් භූමිය තුලටත් ප‍්‍රධාන වශයෙන් නොවැළක්විය හැකි සමාජ ගැටලූවක් බවට මෙම මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය අදවන විට හදුනා ගත හැකිය. ලෙඩ රෝග බහුල වෙමින් කෙටි ආයු කාලයක් තුල අකාලයේ මියයන මෙරට අනාගත පරපුර ගැන වගකිව යුත්තේ කවුද? කප්පන් ගන්න, හොරට සල්ලි අරගෙන යටිමඩි ගහන පාලකයින් පිරිසක් මෙරට බහුල වශයෙන් සිටින විට වගකීම් සහගත ලෙස නීත්‍යානුකූලව සිය ධුරයේ කටයුතු කරන අල්පයක් නිලධාරීන්ට මෙය වැළක්විය නොහැක. එයයි සමාජ යථාර්තය. මාසිකව ගන්නා පඩියට සරිලන ලෙසවත් මෙරට සමාජ සංවර්ධනය උදෙසා කටයුතු නොකරන පාලකයින් සිය නිලයන්ට කරන්නේ ද අගෞරවයකි. නොනිදා පුටු රත්නොකර දෑස් ඇර මෙරට සමාජය යන අගාදය දෙස විමසිලිමත්ව බැලිය යුතුය. නැතිනම් සමාජය මෙන්ම හෙට ඔබේ පවුලද මෙවැනි සමාජ ගැටලූ රැසකට මුහුණදෙයි. එම නිසා වගකීම් සහගත බලධාරීන් මතින් තොර වු යහපත් සමාජයක් ගොඩනැගීම උදෙසා හැකි උපරිම සේවය මෙරට සමාජය වෙනුවෙන් ලබාදෙනු මැනවි.

Wednesday, August 1, 2018


 තැනක් නොතැනක් නැතිව හැදෙන Data බඩගින්න
             
             


        නවීන සමාජයත් සමග උරෙන්උර ගැටෙමින් තරගකාරීව ගමන් කරන මිහිපිට මිනිසාට නවීන සන්නිවේදන මාධ්‍ය අත්‍යවශය සාධකයක් බවට පත්වී ඇත. කාල කලමණාකරනයට සහ සිය වැඩකටයුතු පහසුකර ගැනීම සදහා වැඩිදෙනෙකු මෙම නවමාධ්‍ය භාවිතයට හුරුපුරුදු වී ඇතත් එයින් කොටසක් සමාජයේ ඉහළ පැලැන්තිය යැයි වැජඹීමට දරන පුහුමාන්නයක් ලබා ගැනීම සදහා මේ නවමාධ්‍ය භාවිතයට යොමු වේ. ඒ කුමන කරුණක් හේතු සාධක කරගෙන හෝ මෙම නවමාධ්‍ය භාවිතයට ලොකු කුඩා සෑම සමාජ කණ්ඩායමක්ම යොමුවීම සුලභ පුරුද්දකි. මෙම නවමාධ්‍ය අතුරින් අන්තර්ජාල ප‍්‍රවේශය බොහෝ දෙනෙකුගේ දෛනික පුරුද්දක් වන අතර එයට අත්‍යවශය සාධකයක් ලෙස Data  හෙවත් දත්ත ලබා ගැනීම කාහටත් දැනෙන කරුණකි. Mobitel, Dialog, Airtel,   Hutch ආදී වු කුමන ආයතනයකින් වුවත් ප‍්‍රධාන අලෙවි නිෂ්පාදනයක් ලෙස Data card හදුනා ගත හැකිය. පාරිභෝගිකයා අල්ලා ගැනීමේ ප‍්‍රධාන බලවේගයක් ලෙස මෙම Data හදුන්වාදීම වර්තමාන සමාජයට අනුව පෙන්වා දිය හැකිය.  
                    අන්තර්ජාලය ඔස්සේ Facebook, Viber, Imo, Youtube, Messanger ආදී වු කුමන සමාජ මාධ්‍යයක් සලකා බැලූවහොත් මෙරට පුද්ගලයන්ගෙන් 90% පමණ මෙම එක් සමාජමාධ්‍යයක් හෝ භාවිතා කරයි. ඒ හරහා මිතුරන් සමග චැට් කිරීමට, ටෙලිනාට්‍ය සින්දු නැරඹීමට ඔවුන් වැඩි වශයෙන් යොමුවී ඇති අතර එහිදී ඔවුනගේ  මෙම අවශ්‍යතාවයන් කරගත් පුරුදු සපුරාලයි. වැඩි වශයෙන් මෙම Data  හරහා Youtube සමාජ මාධ්‍ය ඔස්සේ ටෙලිනාට්‍ය නැරඹීමට සමාජයේ බොහෝ පිරිසක් යොමු වී ඇත. වර්තමානයත් සමග බලන විට දෙවෙනි ඉනිම ඔවුනගේ ජනපි‍්‍රයතම ටෙලිනාට්‍ය වී ඇත. සමාජයේ ලොකු කුඩා කාගෙත් උන්මාදයක් වු මෙම Data ඇබ්බැහිය හදුනා ගත් බොහෝ ජනපි‍්‍රයතලයේ ගායකයින්ද සිය ගීතයන්  Youtube වැනි සමාජ මාධ්‍ය ඔස්සේ ජනපි‍්‍රය කරගැනීමට යොමුවී ඇත. තත්පරයක් වැනි සුළු කාලයක් තුලින් මෙම අන්තර්ජාල ප‍්‍රවේශයට දසලක්ෂ ජනකායක් ඇතුලත් වීම මත මෙම Data පෙරලිය සමාජ ගින්නක් බවට පත්වී ඇතිබව නොරහසකි.
                අත ඇති ස්මාර්ට් දුරකථනය මගින් අන්තර්ජාලය පුරා සැරිසැරීම තරුණ කා අතරත් ජනපි‍්‍රයම ඇබ්බැහියකි. මගතොට වුවත්, බස්රථයෙ,් දුම්රියේ යනඑන කුමන තැනක සිට හෝ තම දුරකථනය මගින් අන්තර්ජාලය පුරා සැරිසැරීමට කාගෙනුත් ඔවුනට බාධා නැත. ඇති එකම බාධකය වන්නේ ඇති පමණට DATA  ගැනීමයි. දෛනිකව මිළදී ගන්නා මෙම Data card පෙරළිය බඩගින්නට එහා ගිය කුසගින්නක් ඇති කරමින් තරුණ පිරිස් ඇබ්බැහි කරගෙන අවසන්ය. අන්තර්ජාලය පුරා සැරිසරන මෙවැනි මාධ්‍ය ලෝලීන් තම උපයන ධනයෙන් මෙවැනි පරිභෝජන කි‍්‍රයාවලියන් සදහාද හරි අඩකඩ වඩා වැඩි ප‍්‍රමාණයක් මසකට වැයකරන බව ඔවුනට මතක නැත. ඔවුන් සිතා බලනුයේ ඒ මොහොතේ තමාට පවතින අවශ්‍යතාවය පමණි. නමුත් එය තමන්ගේ පොකට් එක එම්ට් පොකට් කරනවා පමණක් නොව අනාගතයද එම්ට් පොකට් කරගන්නට පාර කපන බව මතකයේ රදවා ගතයුතුය. තමාට ඇතිවන සියලූ සිතුවිලි වලට කි‍්‍රයාකරන්නට ඉඩදී බලා සිටීම ඉදිරි අනාගතයට බලපෑමක් වේ. එම නිසා අවශ්‍යතාවන්ට සරිලන ලෙස ජීවිතය මෙන්ම ආර්ථීකයද කළමණාකරනය කර ගැනීම කාලීන සමාජයට අනුව වඩාත් උචිත වේ. 
                   අන්තර්ජාල ප‍්‍රවේශය හරහා අදවන විට විශාල කාර්යබාරයන් රැසක් පහසුකර ගන්නවා සේම එමගින් යම් විටක කාලයද ආර්ථීක මට්ටම ද ඉතිරි කරගැනීමට හැකිවන අවස්ථා නැතිවාම නොවේ. අනාගතය ගොඩනගන තරුණ කණ්ඩායම් වශයෙන් එම කළමණාකාරීත්වය ද ඉතාමත් වැදගත් වේ. නමුත් එක් එක් කූට වෙළද උපක‍්‍රමයන්ට ගොදුරු වී තම අවශ්‍යතාවන්ට එහාගිය ඇබ්බැහිකම් මෙම අන්තර්ජාලය හරහා එකතු වේ. එයට හොදම නිදර්ශනය වන්නේ  Youtube  ඔස්සේ ටෙලිනාට්‍ය නැරඹීමට හුරුවීමයි. පසුගිය ටෙලිනාට්‍ය කොටස් පවා නැවත නැවත නැරඹීමට ඔවුන් හුරුපුරුදු වී අවසන්ය. නමුත් එවැනි දේ කෙරෙහි ඇබ්බැහි වීම මත නැතිවම බැරි අවශ්‍යතාවක් බවට පත්වේ. එමගින් මෙහොතකට වින්දනාත්මක රසයක් පමණක් තමාට ලැබෙන අතර ව්‍යාපාරික ධනවතුන් පොහොසත් කිරීමට නම් හැකියාව ලැබේ. එම නිසා මේ ගැන කල්පනාකාරීව සිතා බැලිය යුතුය. තැනක් නොතැනක් නැතිව හැදෙන Data කුසගින්න සංසිදු වීමට වඩා තමන්ගේ අනෙකුත් අවශ්‍යතාවන් වෙනුවෙන් කටයුතු කිරීමට හුරුපුරුදු වීම අද ගොඩනගන හෙට අනාගතය සුභදායික වනු ඇත.