Saturday, June 30, 2018



                      යථාර්තවත් මිනිස් ජීවිතය කෙරෙහි පාරිසරික ජීවයේ බලපෑම
               
                 

                     


                                            මානවයාගේ ජීවයේ රදාපැවැත්ම තීරණය කරන එක් සාධකයක් ලෙස පාරිසරික පැවැත්ම හදුන්වාදිය හැකිය. යහපත් පාරිසරික වාතාශ‍්‍රයක් මෙන්ම දුෂිත නොවු පරිසරයක් රදා පවතින්නේ කෙතරම් කාලවකවානුවක වන්නේ ද එතෙක් මිනිසාගේ ජීවය පැවතිය යුතු කාලය තීරණය වේ. පරිසරය මුලික ප‍්‍රභේද දෙකොටසක් යටතේ බෙදා දැක්විය හැකිය. එනම් පිරිසිදු පරිසරය සහ අපිරිසිදු පරිසරය ලෙසය. මිනිස් ජීවිතයට පිරිසිදු පරිසරය අත්‍යවශ්‍ය අංගයක් වන අතර අපිරිසිදු පරිසරය මිනිස් ජීවිතයට හානිකර තතත්වයන් ඇති කරයි. කායිකව මෙන්ම මානසිකවද සංවර්ධනය වීමට පරිසරය තුලින් මිනිසාට ලැබෙන දායකත්වය මිල කල නොහැකි තත්වයකි. නමුත් කාලීන වශයෙන් මෙම ධර්මතාවය අමතක කල මිනිසා කායිකව සහ මානසිකව තම සංවර්ධනය පිරිහීමේ තත්වයකට ඇද දමමින් පැවතීම ශෝකය උපදවිය යුතු කරුණකි. පිරිසිදු පරිසරයක් තුල ජීවත්වීම මත ලැබෙන යහපත් ප‍්‍රතිඵලයන් පිළිබදව සිහිපත් කරමින් බුදුන්වහන්සේ මංගල සුත‍්‍රයේ දී මිනිසාගේ වාසයට ජීවත්වීමට සුදුසු ප‍්‍රදේශයක වාසය කලයුතු බව දේශනා කර ඇත. 
                               
                                            ”ප‍්‍රතිරූප දේස වාසය”
                           
                              තම ජීවිතය ගත කිරීම සදහා සුදුසු ප‍්‍රතිරූප දේශ වාසයක් තෝරාගත යුතු බව මෙසේ සදහන් කරයි. එකල සමාජ වටපිටාව සහ වර්තමාන සමාජය දෙස බලනවිට ජීවත්වීමට සුදුසු  පරිසරයක් තෝරා ගැනීම දුෂ්කර කාර්බාරයකි. සංකීර්ණ සමාජ රටාවට අනුව තාක්ෂණික මෙන්ම වෙළද ලෝකයේ දවසින් දවස ඇති කරන පෙරලිකාර දියුණුවත් සමග පරිසරය ඔවුනට එතරම් වැදගත් සාධකයක් නොවේ. මහා පරිමාණ කර්මාන්ත ශාලා ඉදිකිරීමත් සමග පරිසරය එක්තරා කොන්කී‍්‍රට් වනාන්තරයකි. දුෂිත වායුව, අපවිත‍්‍ර වු ජලය මෙන්ම තොර තෝංචියක් නැති ශබ්ද දුෂණයන්ගෙන් පිරී ඇති වර්තමාන සමාජය තුල කුමන ස්වභාව සෞන්දර්යක් ද? මෙම ගැටලූකාරී තත්වය මත මිනිසාට ඉතිරිවී ඇත්තේ ලෙඩරෝග බහුල කායිකව මෙන්ම මානසිකව දුෂණය වෙමින් පවතින කෙටිකාලීන ජීවයක් පමණි. මෙම තත්ත්වය පෙර සිට අවබෝධ කරගත් අප මහා බෝසතානන් වහන්සේ පරිසරය හා මිනිස් ජීවිතයට ඇති බලපෑම පිළිබද තම දේශනයන්හි කොතෙකුත් තම ශ‍්‍රාවකයන්ට දේශනා කර ඇත.
               
                                   සියලූ සංකල්පයන් මුදල මත තීරණය වන සමාජ රටාවක් මත මිනිසා තරඟ කරන්නට උත්සහ ගන්නේ මුදල් පුරවා ගැනීමේ සපුරාගත නොහැකි අසීමිත ආශාව මතයි. සංස්කෘතිකම වශයෙන් පරිපුර්ණ වු සමාජ සාරධර්ම තුරන් වී ගොස් විනය නොමැති දුෂිත සමාජයට බියෙන් වල්වැදී ඇත. විෂම සමාජ රටාවක් මත විනාශ වී යන වර්තමාන සමාජය තුල අප අද ජීවත්වන පරිසරය සම්පුර්ණයෙන්ම අපාරිශ‍්‍රද්ධ තත්වයකට පමුණුවා ඇත. මායාකාරී වු සර්වපිත්තල ලෝකයකින් හැඩකර ඇති වර්තමාන සමාජය තුල පරිසරයට ඇත්තේ පහළ වටිනාකමකි. 
                                        
     බුදුසමය පරිසරය හා සෘජු සම්බන්ධතාවයක් පවත්වා ඇත. සිද්ධාර්ථ කුමරුන් උත්තරීතර සමාජ පරිසරයක් නිර්මාණය කිරීමේ තිරසාර අදිටනින් තම නාගරික රජ සැපත අතහැරදමා ප‍්‍රවිශ්ඨ වුයේ සුන්දර වන පියසකටය. එම සුන්දර වන පියස උන්වහන්සේගේ සත්‍ය සෙවීමෙහි පුළුල් වු මහා විද්‍යාගාරය විය. එම ජීවී ලෝකය තුල සත්‍ය සොයා ගිය උන්වහන්සේට අවිද්‍යාව හෙවත් නොදැනීම නැමැති අන්ධකාරය දුරුකරන්නට හැකිවිය. 
                  
                                    ”චක්ඛුං උදපාදි, ඤානං උදපාදි, පඤ්ඤා උදපාදි
                                     ඤාණං උදපාදි, විජ්ජා උදපාදි, ආලෝකා උදපාදි”
   
                             ධම්මචක්කප්පවත්තන සුත‍්‍රයේදී ඉහත ලෙස බුදුරදුන් පස්වග තවුසන්ට දේශනා කර ඇත්තේ තමන්වහන්සේගේ ප‍්‍රඥාව නැමති ඥානය උපයෝගීව සොයා ගන්නා ලද ආලෝක හෙවත් සත්‍ය මාර්ග පිළිබදවයි. සර්වඥ හෙවත් සියල්ල දැනගත් තත්වයට උන්වහන්සේ පත්වුයේ නේරංජන නදිය අසබඩ පිහිටි නිසොල්මන් සුන්දර පරිසරයේදී බවයිමෙම හේතු සාධකය මත යහපත් වු පරිසරයක වාසය කිරීම මිනිස් ජීවිතයට බෙහෙවින් හිතකර බව දේශනා කලහ .
                   
             යහපත් වු ජීව පරිසරයක් නිර්මාණය කර ගැනීමට අප විමසිලිමත් වියයුතු ආකාරය බුද්ධ දේශනයන් තුළින් පසක් වේ  .මන්ද පරිසරය දුෂණය පුද්ගලයාගේ ජීවිතය කෙරෙහි බලපායි . එය අහස, පොළොව, ගංගා, ඇළදොළ මෙන්ම මහා සාගරය යන සෑම ඉසව්වක් කරා විහිදි යයි .ඒ සියල්ලෙහි වෙනස්වීම පරිසර දුෂණයට මෙන්ම ජීවිත තර්ජනයක්ද එකතු කරයි .එම නිසා පරිසරයේ පිරිසිදුබව ආරක්ෂා කිරීම තම ජීවිතය දිගුකාලයක් රදවා ගැනීමට හේතුවන අතර අපගේ අනාගත පරපුර උදෙසා ඉටුකලයුතු වගකීමක්ද වන්නේය .වන සම්පත මෙන්ම සත්ව සම්පතද ඇතුලූව සියලූ ස්වභාව සෞන්දර්යක්ම රැකගැනීම අපගේ ආරක්‍ෂාව ද තහවුරු කරන බව මතකයේ රදවා ගත යුතුය.
             බුදුසමය භාරත දේශයේ පහළ වන විට පරිසර අර්බුදයක් නොපැවති අතර රමණීය මනහර පරිසර චමත්කාරයක් භාරත දේශයේ නාගරිකත්වය තුලද එකලෙස පැවතුනි .
                                          ”රමණීයානී අරඤ්ඤානි
                                           යත්ථන රමණී ජනෝ
                                           චීතරාගා රමෙස්සත්ති”
           
               චීතරාගී පුද්ගලයන්ගේ මනස ඇදී ගියේ නිදහසින් පිරි එම රමණීය පරිසර වටපිටාව නිසාය. බුදුන්වහන්සේ ඇතුළු බුද්ධ ශ‍්‍රාවකයන්ද වැඩි වශයෙන් වැඩ වාසය කළේ මෙම රමණීය වනපෙදෙස ඇසුරු කරගෙනය. කෙලෙස් දුරලන වීතරාගීන්ගේ සිත ඇදී ගියේ මෙම වන ප‍්‍රදේශයේ පැවති යහපත් සෞන්දර්යාත්මක පාරිසරිකත්වය නිසාවෙනි .මේ අනුව බලන විට පරිසරය කෙතරම් අපගේ මනස හසුරුවන්නට බලපාන්නේ දැයි පැහැදිලිය.
                
                 බුදුදහමේ ඉගැන්වීමට අනුකූලව ස්වභාවික ලෝකයට අයත් හැමදෙයක්ම වෙනස්වීම් වලට ලක්වන අතර මිනිසා ජීවත්වන්නේ ද එම ස්වභාව ධර්මයේ නියමයන් මතය. එම නිසා ස්වභාවික ජීවි පරිසරයේ මනා පැවැත්ම මිනිසාගේ මනා හැඩගැසීම සදහා හේතුවන්නේය . එම නිසා එදා පරිසරය හා මිනිසා අතර පැවති වෙන්කල නොහැකි සදාචාරාත්මක සබැදියාව වර්තමාන සමාජය තුල ද නිර්මාණය කරගැනීම මත බොහෝ පාරිසරික ගැටළු නිරාකරණය කර ගැනීමට උපකාරී වේ . බ‍්‍රාහ්මණ යාග කර්මයන් මෙන් හෝම කර්ම පරිසර දුෂණයන්ට හේතුවීම මත බුදුන්වහන්සේගේ දැඩි විවේචනයන්ට භාජනය විය . බෞද්ධ ඉගැන්වීමට අනුව ශාක හා සත්ව සංරක්ෂණය ධාර්මිකබවේ සංකේතයක් වන්නේය .එය නිවැරදි බෞද්ධ සංකල්පය වන අතර එය අවබෝධ කර ගැනීම මිනිස් පැවැත්මට විශාල පිටිවහලකි.
     
                                 බුද්ධ දේශනයන්ට අනුකූලව මෘග පක්ෂියාගේ සිට දැඩි රැකවරණ සැලසිය යුතු අතර රටේ පාලක සක්විති රජු අනුගමනය කලයුතු කාරණා චක්කවත්තී සීහනාද සුත‍්‍රයට අනුකූලව දේශනා කලේ පරිසර සුපරිශුද්ධතාවය හේතුවනි .එම නිසා වර්තමාන සමාජය තුල රටේ ජීවත්වෙන ජනතාව මෙන්ම පාලකයින්ද ස්වභාවික පරිසරය ආරක්ෂා කර ගැනීමට උරතබන්නේ නම් වර්තමාන ගැටළු හරි අඩකටත් එහා ප‍්‍රමාණයක් ස්වභාවිකවම විසදා ගතහැකි බව සිහිතබා ගතයුතුය. එය අනාගත පරපුරට යහපත් ජීවත්වීමේ ඉඩකඩක් නිර්මාණය කරයි.

Saturday, June 23, 2018

ගීත විචාර



                     
                        පෙර ආත්මයක එක රාත‍්‍රියක
               
                   
                     පෙර ආත්මයක එක රාති‍්‍රයක
                     සොමි සද පානේ රසුදැල් සෙලෙව්වේ
                     ඒ ඔබයි මිහිරේ   ඔබයි මිහිරේ

                     දෑතට බර වී දෑතට හිර වී
                     එක් වුණු තිසරුන් රංගන පෑවේ
                     ආදර වීණා සත්සර රාවෙන්
                     මත් වූණු කොවුලා සිත් ලෙස නෑවේ

                     මධුර අතීතේ දැනුණු තුසීතේ
                     ජීවන ගමනේ ගිම සැනසෙව්වේ
                     ඒ සුව සහනය සිහිවේ

                     නෙත්මිණි පිබිදී පැහැසර විහිදී
                     සියොලඟ ගිලූනා විශ්මිත එළියේ
                     සිත් ලෙස සුවසේ අත් ගෙන එක සේ
                     අප සැරිසැරුවේ පෙම් සැනකෙළියේ

                     භවයෙහි පෙර දී ආ මඟ වැරදී
                     කොයිබද ඔබ මේ පි‍්‍රයදේහිනියේ
                     මා ඔබ දෙඅතක තනියේ

                     පෙර ආත්මයක එක රාති‍්‍රයක
                     මධු කුසලානේ දෙතොලේ රැදෙව්වේ
                     ඒ ඔබයි සොදුරේ ඔබයි මිහිරේ
                 

                     
                           නිර්මාණකරනයේ  ආරම්භයත් සමඟ සාහිත්‍ය කලාවේ ප‍්‍රගමනය සිදුවු අතර රසාස්වාදය අරමුණු කොටගෙන, අත්දැකිම් හා කල්පනා ලෝකය හෝ යම් මුලාශ‍්‍රයක අවශ්‍යතාවය මත අනුභූූතීන් සොයා වින්දනාත්මක හැගීම් හෙවත් රසභාවයන් ඇතිකරන අයුරු නිපදවන නිපැයුම් ලෙස නිර්මාණය යන්නට අර්ථ විවරනය ලබාදිය හැකිය. පරිකල්පනය, ප‍්‍රතිභාව, ව්‍යුප්පත්තිය, බහුශෘතභාවය, සතතාභ්‍යාසය, වැනි මුලයන්ගෙන් පරිපුර්ණ වන මෙම නිර්මාණකරුවෙකු සිය නිර්මාණය ඔස්සේ සිය අත්දැකීම් හෝ සිදුවීම් විවරණය කරයි. නවෝත්පාදන අදහස් නැවත උත්පාදනය කිරීමට ඇති හැකියාව වු නිර්මාණශීලි ගුණය එයට ප‍්‍රබල දායකත්වයක් සපයන අතර ගීත සාහිත්‍යයට ඇත්තේ ප‍්‍රමුකත්වයකි. පිටපතක් ලෙස බිහිවන නිර්මාණයන්ට තවත් බොහෝ ආනුශාංගික කලාවන් සමෝදානය වීමෙන් ප‍්‍රාසාංගික කලාවක් බවට පත්වන අතර ගීතය යනු එවැනි කලාවකි. යම් අවස්ථාවක ගී තනුවක් පදනම් කරගෙන ගී පද ලියැවෙන අතර කෙසේ හෝ රසික හදවත මනෝ ලෝකයෙන් එහා ගිය වින්දනාත්මක හැගීමකට ගීතය යන ප‍්‍රතිභාත්මක නිර්මාණය ගෙන යයි. පද රචනය, සංගීතය, ගායනය යන මුලික ක‍්‍රමවේද තුනෙහි එකතුවකින් උත්පත්තිය ලබන ගීතයට විවිධ වු මනෝභාවයන් පවති. පද රචකයාට අවශ්‍ය  ඕනෑම වස්තු බීජයක් ඔස්සේ නිර්මාණය වන ගීතයට කාලීන වශයෙන් යොදා ගන්නා තේමාවන් අතුරින් ශුංගාරාත්මක හැගිම හෙවත් ලිංගිකත්වය ප‍්‍රමුඛ තේමාවක් බවට පත් වී ඇත. මානසික බන්ධනයන් නිසා හෝ කායික අවශතාවය මත පමණක් හෝ ඇතිවන ශුංගාරාත්මක වු බැදීම විවිධ ඇස් මට්ටන්ගෙන් පද රචකයන් දකී. එය ඔහුගේ රසඥතාවයයි. නමුත් එම ගීතය විචාරය කරන්නාට ඔහුට වඩා වෙනස් වු ස්වරූපයකට එය ප‍්‍රතිවිචාරයක් බවට පත් කල හැකිය. විචාරයේ ස්වභාවය එය වන අතර එය මෙලෙස යැයි සීමා කල නොහැක. නිර්මාණයක් බහුල වශයෙන් වැඩෙන්නේ ස්වාධීන නිර්මාණයක් ලෙසය. එම නිසා මෙම ස්තී‍්‍ර පුරුෂ බන්ධනයසිය අත්දැකීම් හා හැගීම් මුසු කරමින් මෙයට වසර ගණනාවකට පෙර කරුණාරත්න අබේසේකරයන් විසින් පද රචනය කළ ” පෙර ආත්මයක එක රාති‍්‍රයක ” රචකයා මෙලොව හැර ගියද අදටත් ජිවමාන කරන ගීතාංගයකි. මෙම ගීතයේ පද සංකලනය හරහා රචකයා රසික හදවතට පවසාලූයේ කුමනාකාරයේ වු හැගීමක් දැයි මෙසේ පද පෙල විවරණය කරමින් මෙසේ විමසා බැලිය හැකිය.
                 
                                කලා ක්‍ෂේත‍්‍රයේ ගායකයන් වශයෙන් නම් දැරූ බොහෝ රසික හදවත් පැහැරගත් ගායක දෙපලක් වු මිල්ටන් පෙරේරා සහ සුජාතා අත්තනායකයන් එකතුව ගැයෙන යුග ගීයක් වු මෙයට ඔවුන් ජිවය ලබා දුන්හ. මෙම ගීතය තුලින් වින්දනයට එහා ගිය භාවමය හැගීමක් රසිකයාට ලබා දීමට මොවුන්ගේ ගායන හඩ පිටිවහලක් වී ඇත. කරුණාරත්න අබේසේකරයන්ගේ පද රචනයට සාධාරණයක් මෙම ගායක යුවලගෙන් ලැබී ඇත. මෙම ජිවමය ගුණය තීව‍්‍රර කරන්නට මෙයට සංගීත ස්වර සංකලනයන්ගෙන් ලබා දෙන මොහොමඞ් සාලි ද මුලික කර්තව්‍යයක් ඉටු කරයි. කාලයාගේ ඇවෑමෙන් විවිධ ගායක හඩ ස්වරයන්ගෙන් ඇසෙන මෙම ගීතය රසික හදවත තුල චිත්තරූප මවාපායි. පෙම්වතුන් යුවලකගේ සිහිගැන්වීමක් ලෙස නිර්මිත මෙම ගීතය තුලින් ආධ්‍යාත්මීය වහයෙන් ඇති වු ශෘංගාරාත්මක හැගීමට එහා ගිය කායිකමය බන්ධනයක් පිළිබදව පද රචනය ඔස්සේ මතු වී ඇත. විවිධ භාෂා ලක්ෂණයන් උපයුක්ත කරගත් මෙම ගීතය පද පෙළ ගැලපීම ඔස්සේ ප‍්‍රකාශිත හැගීම කුමක් ද, රසිකයාට ප‍්‍රකාශ කරන පරිකල්පන ශක්තිය කුමනාකාර දැයි මෙලෙස පද පෙළ විවරණය කරමින් විමසාලිය හැකිය.
                        
                      ස්ති‍්‍ර පුරුෂ අභ්‍යන්තර බන්ධනයේ පදනම ද ස්තී‍්‍ර පුරුෂ විවාහයේ පදනම ද වර්ගයාගේ අඛණ්ඩ පැවැත්ම ද ලිංගිකත්වය මත රදා පවති. ස්තී‍්‍ර පුරුෂයන් අතර ලිංගිකත්වයෙහි වෙනස නොවන්නට එකී වෙනස තුලින් ලබන්නා වු කායික, මානසික පහස නොවන්නට මෙලොව ස්තී‍්‍ර පුරුෂයන් අතර මෙයාකාර අතිශය ප‍්‍රබල බන්ධනයන් ඇති නොවනු ඇත. මෙම ගීතය ස්තී‍්‍ර පුරුෂ කාමය නොහොත් ලිංගිකත්වය කයින් ස්පර්ශ කොට ලැබු මහත් ආහ්ලාදය මනසින් ද යලි යලිදු ස්පර්ශ කරමින් ලබන්නා වු ආනන්දය පිළිබද පවසාලන ශෘංගාරය, පේ‍්‍රමය මිශි‍්‍රත ගීතාංගයක් ලෙස ආරම්භය මෙලෙස කැටි කර ඇත.
                                ”පෙර ආත්මයක එක රාති‍්‍රයක
                                 සොමි සද පානේ රසුදැල් සෙලෙව්වේ
                                 ඒ ඔබයි මිහිිරේ.... ඔබයි මිහිරේ....”
                   
                         ආරම්භයේම සිහිගැන්වීමක් ලෙස ප‍්‍රකාශිත මෙම ගීතය පෙර දිනක ගතවුන එක රාති‍්‍රයක පෙම්වතුන් යුවලක් අතර වුන සෙනෙහබර බන්ධනයක් සිහියට නගයි. හදෙහි සිසිලසින් මුසපත් වුන පෙම්වතුන්ගේ හදවත තුල සිය ශෘංගාරාත්මක හැගීම් උද්දීපනය වේ. සිසිලස ගෙන එන සද පායා ඇති රාති‍්‍රයේ මෙම පෙම්වතුන් යුවලගේ සරාගික වු හැගීම් උද්දල් වන්නට සමත්විය. දෙදෙනා එකිනෙකාට සිය හැගීම් ප‍්‍රකාශනය කල එම සුන්දර රාති‍්‍රය තුල සිය කායිකමය පහස ලබමින් පේ‍්‍රමයේ ආනන්දනීය පහස ලැබුහ. එම සුන්දර රාති‍්‍රයේ ලද කායිකමය පහස නැවත නැවත සොදුරු හැගීම් ඔස්සේ සිහිපත් කලහ. සිය හදවතේ හැගිම් ප‍්‍රකාශයත් සමග තම හදවතින් සිහි කල එම සොදුරු මතකය පේ‍්‍රමානන්දයෙන් මුසපත් වුන පෙම්වතිය මෙලෙස පවසයි.
                                    ”දෑතට බර වී දෑතක හිර වී
                                      එක්වුණු තිසරුන් රංගන පෑවේ”
                  
                             කායිකව බැදුණු පෙම්වතුන් යුවල සිය හැගීම් ප‍්‍රකාශිත ආකාරය පෙම්වතියගේ හද පවසාලුයේ මෙසේය. කායිකව බැදුනු පෙම්වතුන් යුවල දෑත් වලින් එකිනෙකා වෙලා ගනිමින් කායික පහස ලබමින් ගෙවුන එම රාති‍්‍රයේ පපුතුරයේ වෙලී සිටි සිය පෙම්වතා තම පියයුරු පහස ලැබු අයුරු පේ‍්‍රමනීය හැගීමෙන් සිහිපත් කරයි. දෙදෙනා එක් වී සිය පේ‍්‍රමාලිංගනයේ රඟ දක්වමින් එකිනෙකා සිය කායික පහස වින්දහ. ගතවී ගියත් මතකයෙන් සිහිපත් කරන එම සොදුරු මතකය පෙම්වතා පවසාලුයේ මෙලෙසය.
                                     ”ආදර වීණා සත්සර රාවෙන්
                                      මත්වුණු කොවුලා සිත්ලෙස නෑවේ”
                      
            පෙම්වතියගේ පහසින් සිය හැගීම් වල වින්දනය උපරිමයෙන් ලද පෙම්වතා ඒ රාති‍්‍රය ගෙවීමත් සමග දැනුන හැගීම මෙලෙස පවසයි. පෙම්වතා සිය පෙම්වතියගේ ලාමක සියුමැලි පහස, ළමැදෙහි සුවය වින්ද අතර ඇගේ වීණා වැයෙන නාදය බදුව ඔහුට ඇසෙන සුමිහිරි පේ‍්‍රමණීය තෙපුල් ඔහු සිත පුරවා ගන්නා බව දක්වයි. එම තෙපුල් ඔහු සිතට සත්සර රාවයකින් සිය දෙකන් පුරවාලන හැගීමක් ඇති කරමින් වඩ වඩාත් ඇයව අපේක්ෂා කරවන හදවත විවර කලහ. ඇගේ තෙපුල් වලින් සහ කායික බන්ධනයෙන් ලද හැගිමත් සමග මත්වී ගිය සිය හැගීම් ඔද්දල්වාලමින් සිත් සේ කායික ආස්වාදය ලැබුවේ තමන් මත්වී ගිය කොවුලෙකු ලෙසින් බව පවසමින් නැවත නැවත ඇයව සිහි කැදවමින් මතකය ආවර්ජනය කරයි.

                                  ”මධුර අතීතේ දැනුණු තුසීතේ
                                   ජීවන ගමනේ ගිම සැනසෙව්වේ
                                   ඒ සුව සහනය සිහිිවේ”
                  
          ආරම්භයේ දීම මතකය ආවර්ජන කිරීමක් ලෙස පවසාලන මෙම ගීතයේ ඉහත පැදි පෙළ තුලින් ද අතීත මතකයේ සිහිගැන්වීමක් ලෙස නැවත සිහිගන්වන සිය අතීත මතකය සිය වින්දනාත්මක පහසක් ලෙස පෙම්වතිය මෙලෙස සිහිපත් කරයි. සුන්දර අතීත මතකයෙන් ලද එම සුවය, පහස තැවි තැවි ලතවෙන ජීවන ගමන තමන් සුවපත් කල බවද ප‍්‍රකාශ කලහ. කායිකමය පහස ලබමින් ආධ්‍යාත්මීය සුවය ලබා ගැනිමට වෙර දැරූ ඇය තම පෙම්වතාගෙන් එදින ලද පහස අදටත් සිහිගන්වාලමින් ආධ්‍යාත්මකව මනස සුවපත් කරන්නට අස්වැසිල්ලක් ලබන්නට උත්සහ කරයි.
                                          
                                           ”නෙත්මිණි පිබිදී පැහැසර විහිදී
                                           සියොලග ගිලුනා විශ්මිත එළියේ”
                    
          පෙම්වතියගේ සිහිගැන්වීමත් සිය මතකයට පණපෙව් පෙම්වතා යලි මෙලෙස සිය මතකය සිහිපත් කරයි. සිය පෙම්වතියත් සමඟ ගෙවුනු අතීත මතකය ඔහුගේ ද ආධ්‍යාත්මය සුවයක් ලබමින් දෙදෙනා එක්වී ගෙවු රාති‍්‍රයනැවත සිය හදවත පුරා මතකය අවධි කරයි. තම පෙම්වතියගේ නීල මාණික්‍ය බදු සුපැහැපත් දෑසෙහි එදා දැකි පේ‍්‍රමයේ, ස්නේහයේ හා සරාගීකත්වයේ ආලෝකය පෙම්වතා වශිකෘත කරයි. ඇයගේ දෑසෙහි රැදී ඇති එම සරාගික ආලෝකය තුලින් තමා මුසපත්ව ගිලී ගිය බව සිහිපත් කරමින් සිය මතකය නැවත සිහි කැදවාලයි. සිය පෙම්වතියගේ ආලිංගනයේ පහස විදි පෙම්වතා මෙලෙස සිහිපත් කරන විට පෙම්වතිය ලද හැගීම මෙලෙස පවසාලයි.
                                   
                                    ”සිත් ලෙස සුවසේ අත්ගෙන එකසේ 
                                     අප සැරිසැරුවේ පෙම් සැණකෙලියේ”
                    
                    සුවිසල් ලෝකයේ තමාම ගොඩනගාගත් සුන්දර පටු ලොවතුල පෙම්වතා සහ පෙම්වතිය ලෙස සිය පේ‍්‍රමයේ කායිකමය පහස වින්දහ. එදින ඔවුන්ගේ පේ‍්‍රමණීය රාති‍්‍රය පේ‍්‍රම සැණකෙලියකි. එහි රසිකයෝ ලෙස සැණකෙලියේ වින්දනය ලද්දේ ඔවුන් දෙදෙනා සහ උන්මාදනීය රාති‍්‍රය පමණක් බව පෙම්වතිය මෙලෙස පවසයි. රාති‍්‍රය පුරා පෙම් සැණකෙලියේ රංගනය කල මෙම පෙම්වතුන් යුවල දෙදෙනාගේම කායිකමය අවශ්‍යතා සපුරා ගත්හ. කායිකමය බන්ධනයෙන් වෙලුනද ජීවිතයේ එකතු වන්නට වාසනාවක් නොතිබුන මෙම පෙම්වතුන් යුවල අදටත් සිත් වලින් බැදී අවසන්ය. මාවත් දෙකක හිදිමින් ජීවිතය ගෙවාලන මොවුන් කුමක් නිසා හෝ ජීවිතය වැරදුන බව සිහිපත් කරමින් පෙම්වතාගේ සිත ඔහුගෙන් ප‍්‍රශ්න නගයි.
                                  
                                      ”භවයෙහි පෙරදී ආ මඟ වැරදි 
                                       කොයිබද ඔබ මේ පි‍්‍රයදේහිනියේ
                                       මා ඔබ දෙඅතක තනියේ.
                             
             අතීත මතකය ආවර්ජනය කරන පෙම්වතා ජීවිත ගමනේ කුමන අවස්ථාවක හෝ වරදාගත් බව සිහිකරයි. තම පෙම්වතිය සිටිනා තැනක්වත් නොදන්නා තම හදවත ඇය කොයිදැයි විමසාලයි. දෙපැත්තකට වී තනි වුන අපගේ ජීවිතය දැන් සෝ තැවුලෙන් ලතවෙන බව පෙම්වතා සිහිපත් කරයි. ඔබත් මමත් අද දෙතැනක වුනත් හදවතින් බැදුන අපේ මතකයන් සිය වේදනාවන් නිවාලන අයුරු හැගුම්බරව යලි යලිත් ඔවුන් සිහිපත් කරමින් සිය මතකයට ජීවය ලබා දෙති.
                                      
                                        ”පෙර ආත්මයක එක රාති‍්‍රයක
                                         මධුකුසලානේ දෙතොලේ රැදෙව්වේ...
                                         ඒ ඔබයි සොªරේ..... ඔබයි මිහිරේ.....
                        
                 පෙර රාතී‍්‍ර දිනක ශෘංගාරාත්මකව ලද ආනන්දනීය පහස කායිකව වෙන්ව වුවත් මානසිකව එක්තැන් වෙමින් යලිත් වින්දනය කරන්නට තරම් හදවත් බන්දනයක් මෙම පෙම්වතුන් යුවල අතර විය. සිය මතකය මනසින් ස්පර්ෂ කරමින් ආධ්‍යාත්මීය සුවය පතන විඩාබර හදවත යලිත් ඔවුනොවුන් එකිනෙකා ප‍්‍රාර්ථනා කරයි. පෙම්වතා හෙතෙම පෙර රාති‍්‍රයක තමා අතිශය මිහිරි මෙන්ම සරාගික, ශෘංගාරාත්මක වු කායික පහසින් පේ‍්‍රමණීය සුමිහිරි වදනින් සනසාලූ ඒ සුරූපී දේහදාරිනිය හෘදයාංගමව ස්තුතිපුර්වකව සිහිපත් කරයි. විඩාබර ජීවිතය අස්වසාලූ සිය පෙම්වතාව පෙම්වතියද හෘදයාංගමව සිහියට නගයි. වෙනත් ස්ති‍්‍රයකගෙන් නොලද හැකි ඇගේ පහස සිහිපත් කරන පෙම්වතාගේ හදවත කිසිවිටකවත් වෙනත් ස්ති‍්‍රයක් නොපතන අතර තම පි‍්‍රයංබිකාව යලිි යලිත් ප‍්‍රාර්ථනා කරයි. පෙම්වතියද ප‍්‍රාර්ථනා කරනුයේ තම පෙම්වතාගෙන් ලද පහස මිස වෙනත් පහසක් නොව. මාවත් දෙකක සිටිය ද සිය අතීත හැගුම්ර ආස්වාදනීය මතකයන් සිහිපත් කරමි ආධ්‍යාත්මීය සුවයක් මෙන්ම කායිකමය පහසක් විදිමින් ජීවන ගමන තරනය කරන මෙම පෙම්වතුන්ගේ පේ‍්‍රමය ආස්්වාදනීය ලෙස සිහිපත් කරමින් මෙලෙස නිමාව සනිටුහන් කරයි
                    
                                                ගීතය හඩ ස්වරයන්ගෙන් රසෝත්පත්තිය තිව‍්‍රර කරන අතර ගායනයට අත්වැලක් වන මෙහි සංගීතය පිළිබදව විවරණය කරන විට හින්දි තනුවකට අනුව මොහොමඞ් සාලිගේ සංගීත ශෛලියෙන් තුලින් එක්තැන් වුන මෙම ගීතය ”මෙරා පේ‍්‍රයාර් භූතහේ” නම් හින්දි ගීතයේ තනුවට අනුව ගායනා කරමින් නිර්මිත වී ඇති බව පැහැදිලිය. ටෙක්ෂෆෝනය,බටනලාව,වයිලීනය,ඩොල්කිය,ගිටාරය යන වාද්‍ය වෘන්දයන්ගේ සංකලනයෙන් නිර්මිත මෙහි සංගීත ස්වරයන් රසිකයා තුල චිත්තරූප නිර්මාණය කරයි. ස්වර නිර්මාණය පිළිබදව තවදුරටත් ගෙනහැර බැලූවහොත් මෙම ගීතය ස්වරංජනී රාගය ඇසුරින් නිර්මාණය වී ඇති අතර කරනාටක සංගීතයට අයත් මෙහි රාගය සා,දා,හා,කෝමල ග ස්වරයන්ගේ මුසුවෙන් සංකලනය.මෙය අයත්වන තාපය ක‍්‍රාශි බැවින් කෝමල නීශ්වර භාවිතා කර ඇත. සිවරංජනී රාගයෙහි මා,නි ස්වරයන් වර්ජිත වුවද මෙම ගීතයේ එම ස්වර යොදා ඇත.තව ද තිගුණ භාවිතයෙන් යුක්තය. සංගීත වාද්‍යයන් අතරින් වයිලීනය භාවිතයේදී මන්ද නී ස්වරයේ සිට අතිඋච්ච මා ස්වරය දක්වා වු හඩ ස්වරයක් වාදනය වීම විශේෂය. හින්දි ගීතයේ අන්තරා කොටස් 3 මෙන්ම අතුරු වාදන 3 ක් ද යොදා ඇති නමුත් මෙම ගීතය එක් අතුරු වාදනයක් සමගින් අන්තරා කොටස් 2 පමණක් යොදාගෙන නිර්මාණය කර තිබීම විශේෂිතය.
                      
                                     චිත‍්‍රපට ගීතවල ලක්ෂණයන්ගෙන් මුසු මෙම ගීතයේ වික‍්‍රරම්භිත ශෘංගාරය හෙවත් වෙන් වී යාම හේතුවෙන් ඇතිවන හැගීම් ප‍්‍රකාශිතයකි. පිරිමි ගායනය තුල අකාර ගායනය යොදා ඇති අතර ගීතයේ ස්ථායි කොටස අවසාන වන ස්ථානයේ යෙදී ඇති අකාර ගායන කොටස තුල සිවරංජනී රාගයට අනුව ගවි ගාන්ධාරය නම් කෝමල ද්‍රයිවනය යොදා ඇත.මෙය සිවරංජනී රාගයට සදොස් වුව ද කාති තාපයේ ජන්ම රාගයකින් බැවින් සරල සංගීතය තුල යොදා ගැනීම මෙහි රසනිෂ්පත්තියට හේතු වු බව පසක් වේ.
                                            ගීතයේ අර්ථවත් බව තිව‍්‍රර කරන්නට හේතු වන භාෂා ලක්ෂණයන් විමසන විට සිව්පද ආරයකට යම් විටක පද ගලපා ඇත. රචකයාගේ මුලික අවධානය ගීතයේ භාෂාව සදහා යොමු වන්නේ භාෂාවට අනුව ගීතයේ අර්ථය උස්පහත් වන නිසාය. කෙටි පද භාවිත මෙම ගීතයේ උපමා,රූපක මෙන්ම ව්‍යංගාර්ථයන්ගෙන්ද සංකලනය. නමුත් පද සංකලනය අතින් යම් යම් ස්ථානයන්හි අසාර්ථක බවක් මතු වී ඇත. ව්‍යංගාර්ථයෙන් පවසාලන්නට උත්සහ කල යම් අදහස් යොදාගෙන ඇති ලදබොලද වචන නිසා රචකයා තුලින් ගිලිහී ගොස්ය. මෙය ගීතයේ රසයටද හානි පමුණුවයි. මෙයට නිදර්ශන ලෙස,

                           ” ඒ ඔබයි මිහිරේ... ඔබයි මිහිරේ...”  
                  
                           පද පෙල දැක්විය හැක. පද එක්තැන් කිරීම අතින් අසාර්ථක බවක් මතුවන මෙම ගීතය තුලින් ව්‍යංග අර්ථයට වඩා මතුපිට අර්ථයක් ඉස්මතු වේ. භාෂාවේ සරලත්වය නිසාම රචකයා පවසාලන්නට උත්සහ කල ජීවිතමය අත්දැකිම රසිකයාට දැනෙනුයේ පහල මට්ටමකිනි. සොමි සද,රසුදැල්,තිසරුන්,මත්වුණු කොවුලා,නෙත්මිණි වැනි උපමා රූපක සංකලනය නිසා භාෂාවේ අර්ථය හීන වීම යම් මට්ටමකට රචකයා අවම කරගෙන ඇත. යුග ගායනයක් ලෙස රචිත මෙම ගීතය පෙම්වතුන් යුවලකගේ සිහිකැදවීමක් ලෙස ප‍්‍රකාශිත නිසා ගීතය තුලින් මතුකරන ආකල්පමය හැගීම රසිකයාට සිය හදවත තුලද චිත්තරූප මවයි. ගීතයේ ආරම්භයම,
                           
                               ”පෙර ආත්මයක එක රාති‍්‍රයක”
                              
                            ලෙස රචකයා පද රචනා කිරීම තුලින් මෙම මතකය සිහිකැවීමක් පමණක් බව පසක් කරයි. මෙහි සමස්ථ අර්ථයම විවරනය කර බලන විට ශෘංගාරාත්මක වු පේ‍්‍රමණීය කායික පහස තුලින් ලද ආධ්‍යාත්මීය හැගීමට එහා ගිය කායිකමය පහස පිලිබද විවරණය වීමක් ලෙස පසක් වේ. මෙයට යම් විටක හේතුවන්නට ඇත්තේ රචකයාගේ මෙම සරල භාෂාමය ශෛලිය විය හැකිය. නමුත් යම් විටක පද සංකලනයෙන් අසාර්ථක බවක් මතු වුවද රචකයා තුල වු යම් යම් සාර්ථකමය භාෂා ශෛලීන් නිසා ගීතයේ ආර්ථාන්විත බව තිව‍්‍රර වී ඇත.
                    
                                  ගායනය, සංගීතය මෙන්ම භාෂාවෙන් සංකලනය වීමෙහි සාර්ථක බව නිසා සාර්ථක ගීතයක් වු මෙමගින් සමාජමය ඔවදනක් හදවත් තුලට එක් කරයි. සරාගිකත්වයෙන් සිය කායිකමය අවශ්‍යතාව සපුරා ගැනීමට පමණක් එකතුවන ස්තී‍්‍ර පුරුෂ බන්ධනයන් අතරේ පේ‍්‍රමයේ ආස්වාදය ලබමින් හදවතින් පවසාලූ හැගීමක් ඔස්සේ සෙනෙහබරව එකතුවය ස්තී‍්‍ර පුරුෂ බන්ධනය කිසි දිනක ඔවුනොවුන්ගේ හදවත් තුලින් ඈත් නොවන අතර සදාකල් මතකයේ රදවාලයි. එනමුත් එහි ප‍්‍රකාශිත හැගීම් ඔස්සේ ආධ්‍යාත්මිකව ඇතිවන ආස්වාදයට වඩා කායිකමය වශයෙන් ලද පහස සිහි කැදවයි. හැගීම්බර වු ආස්වාදනීය හැගීමක් ඇති කල හැකි හඩ පෞරුෂයක් ඇති ගායක යුවලකගෙන් ජීවය ලබා දෙන මෙම ගීතයේ සාර්ථකත්වය කොතෙක් ද යත් රසික හදවත් තුල අදටත් මෙම ගීතය ජීවමානය. එම ප‍්‍රතිචාරය මත මෙම ගීතයේ කලාත්මක වු රසාස්වානීය හැගීම කොතරම් ඉහල දැයි ප‍්‍රකාශිත වේ.  

Wednesday, June 20, 2018

                                 
                           මිත්‍යාවෙන් අන්ධ වන අපේ ඇස
                         
 

                                               



                                                     මිත්‍යාව යනු සරලවම නැති දෙයක් ඇති ලෙස පිළිගැනීම හෝ ඇති දෙයක් නැති ලෙස පිළිගැනීම ලෙස අර්ථකතනය කල හැකිය. නමුත් මෙම මිත්‍යාව දකින ආකාරය අනුව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. වර්තමානය වන විට මිත්‍යාව මායාවක් වී පවතින අතර පුද්ගලයාට දැකීමට ඇති දුර දැකීමේ ඇස් මානයන්ද මායාව හෙවත් මිත්‍යාව තුළින් යටවෙමින් පවති. මිත්‍යාව යන්නට නිවැරදි අර්ථකතනයක් ලබාදිය නොහැකි අතර එයට හේතු සාධක වී ඇත්තේ නැති දෙය සහ ඇති දෙය ද කෙනාගෙන් කෙනාට, සමාජයෙන් සමාජයට වෙනස් වන්නේ මොහොතින් මොහොත වීමයි.  අතීත මිනිසා තම දැනුම් මට්ටමට අනුව මිත්‍යා සංකල්පයන් මත හිදිමින් තම දෛනික චර්යාවන් සකසුරුවම් කර ගත්හ. දේව ඇදහිලි, චාරිත‍්‍ර වාරිත‍්‍ර මේ අතර ප‍්‍රධාන වන අතර මිත්‍යාව යන්න බොහෝ විට අතීත මුතුන්මිත්තන්ගේ අන්ධ විශ්වාසයන් බවට පත් වන්නට විය. මැවීම හෝ පිළිගත නොහැකි දෙයක් ඇති ලෙස මවා පෑම මෙහි ස්වභාවයයි. අදවන විට මෙම මිත්‍යාව යන්න හිසමුදුනින් පිළිගෙන පේ‍්‍රක්ෂකයා වින්දනය ලබයි. මාධ්‍ය කලාවන් අතුරින් මිත්‍යාව යන්න විමසා බලන විට සංස්කෘතිමය වශයෙන් විශාල පෙරළියක් මේ හරහා සිදුකරමින් සිටි. ව්‍යාපාර ප‍්‍රජාව බහුල වශයෙන් සිය වෙළඳ උපක‍්‍රමයක් බවට මෙම නොදකින මායාව උපයෝගි කරගනිමින් සිටි.
                               මුල දී ස්වභාවධර්මයේ පැවති යම් යම් ස්වභාවික ලක්ෂණයන් වටහා ගැනිමට මානවයා අසමත් වීම නිසා ඒ කෙරෙහි බිය, සැක, කුතුහලය මුසු ආකල්පයක් සහිතව කටයුතු කිරීමට යොමු විය. නමුත් මානව පරිණාමයත් සමඟ  මෙම ආකල්පයන්ද වෙනස් මාවතක් කරා යොමු කරන්නට යොමු විය. මුල් සමාජය තුල ස්වභාවික සංසිද්ධින් සිදුවන ආකාරය නිවැරදිව අර්ථකතනය කර ගැනීමට තරම් දැනුම් මට්ටමක් නොමැති වීම නිසා එම සංසිද්ධින් ගුප්ත මිත්‍යාමය සංකල්පයන් මත හිදිමින් විග‍්‍රහකර ගන්නට උත්සහ කලහ. බිය නැමැති සංකල්පය නිසා එහි යථාර්තය අවබෝධ කර ගැනීමට උත්සුක නොවී එය කිසියම් අදෘශමාන බලවේගයන්ට පවරා දී නිශ්ශබ්ද වීමට හුරුවී ඇත. මේ අදෘශ්‍යමාන බලවේගය සතුටට පත්කර සිය පැවැත්ම නිරුපද්දිතව පවත්වා ගැනීම සදහාම පුරාණ ගෝත‍්‍රික ජනතාව විවිධ අභිචාර විධිවලට යොමුවී තිබේ. මිත්‍යාව නැමැති නොපිළිගත හැකි සත්‍යයතාව නැමැති මායාවේ ආරම්භය ඒ ආකාරයෙන් නිර්මාණය වු අතර එය මිනිසාගේ ක‍්‍රමික පරිවර්තනයත් සමඟ විද්‍යාත්මකව විග‍්‍රහ කර නිරාකරණය කර ගන්නට හැකි විය. අර්ථ දැක්වීම් සමග විමසා බලන විට පෝල් රිකුවර්ගේ මතයට අනුව, 
                     
                        ”මිත්‍යාකල්පිතය කියන්නේ ලෝකය, එහි ඉතිහාසය සහ එහි දෛවය ගැන කියනවට වඩා වෙනස් කාරණයකි.”
            
                                        වැනි අදහසක් ඉදිරිපත් කලහ. ප‍්‍රාථමික සමාජයට වඩා වර්තමාන සමාජය මෙම මිත්‍යා මතයන්ගෙන් දුරස් වීමක් පෙන්නුම් කලද කලාවක් ලෙස පැමිණෙමින්  එය ප‍්‍රාථමික සමාජයට වඩා ජන ජීවිතයට ඇතුලත් වී ඇත. ටෙලිනාට්‍යකරණය, කාටුන් කලාව, දැන්වීම් කලාව මෙන්ම රියැලිටිකරණය හරහා මෙය ජනපි‍්‍රය සංස්කෘතික කලාවක් ලෙස ජනයා අතරට පැමිණ ඇත. මිත්‍යාමය නිර්මාණකරණයන්ට යටවන මෙවැනි කලාවන් හරහා ජනතාව මිත්‍යා ආකල්පයන්ට යොමුවී අවසන්ය. ටෙලිනාට්‍යකරණය ගත්විට අද බොහෝ පේ‍්‍රක්ෂක ජනතාවක් අතර ජනපි‍්‍රය වී ඇත්තේ මෙම මිත්‍යාව මිශ‍්‍ර වු ටෙලිනාට්‍ය කලාවකි. පේ‍්‍රමදඩයම, මහරජ කන්සා, අධිරජ ධර්මාශෝක වැනි බොහෝ ටෙලිනාට්‍ය ජනපි‍්‍රය තලයට ගෙන ආවේ මෙම මිත්‍යාව හරහාය.  රූපවාහීනි කාටුන් කලාව තුලත් මිත්‍යාව රජකරන සංකල්පයක් වී ඇත. කුඩා දරුවාගේ සිට තරුණ පරපුර දක්වා ආකර්ශනිය කලාවක් ලෙස මෙම  රූපවාහින් කාටුන් කලාව දෑස් ඉදිරිපිටට ගෙන අවසන්ය. කූට වෙළද උපක‍්‍රමයන් දෙස බලන විට ඒ හරහා මවාපෑ ඇත්තේ මෙම මිත්‍යාව නැමැති සංකල්පයයි. තම නිෂ්පාදනය වැඩි පාරිභෝගික පිරිසකගේ අත අලෙවි කර ගැනිමේ පරම ප‍්‍රාර්ථනය මත මිත්‍යාව ප‍්‍රබල ආයුධයක් කර ගනිමින් තිරයක් ඉදිරියේ දර්ශනය කරන්නට උත්සහ ගනී. මේ ආදී කුමන අංශයක් විමසා බැලූවද අදවන විට මිත්‍යාව නැමැති සංකල්පය යටතේ ගිල්ලවා තබා අවසන්ය.එයට අපේ ඇසද සුක්ෂම ලෙස අන්ධ කර දොරගුළු දා අවසන්ය.
                  
                      මොහොතකට ඔබ අවට ඔබ නිතර දකින නෙත ගැටෙන දේ විමසිලිමත්ව බලන්න. ප‍්‍රාථමික සමාජයේ නොදැනුවත්බාවය මත පිළිගත් ඒ අදෘශ්‍යමාන මිත්‍යාව නැමැති සංකල්පය දැනුමින් පිරි පරිපුර්ණ මොළයක් දියුණු සමාජයක ජීවත්වන අද මානවයාට හිමිවුවත් තවමත් ප‍්‍රාථමික සමාජයට යටපත් වී තිබේදැයි ඔබට පසක් වේ.කටට ගන්නා ආහාරයේ සිට මොළයෙන් සිතන සිතුවිල්ල දක්වා ඔබ මිත්‍යාව නැමැති සංකල්පයට මැදි වී සිටින අවස්ථාවන් කොතෙකුත් ඔබට හමුවිය හැකිය. එය මෙම ජනපි‍්‍රය සංස්කෘතිය හරහා මිත්‍යාව තුලින් කල සමාජ පෙරළියයි. මිත්‍යාව වරෙක ආකර්ශනීය නිර්මාණයක් සදහා වු ශෛලියකි. එය වරෙක මෙම මිත්‍යාව නැමැති ආකල්පය මත හිදිමින් කල නිර්මාණයන් තුලින් හදුනාගත හැකිය. එය නිර්මාණ කලාවට වෙනමම කලාවක් එකතු කලහ. නමුත් බුද්ධි මට්ටමින් ඉහළ ස්ථානයක සිටින වර්තමාන මිනිසා බුද්ධියෙන් මිත්‍යාව පිළිබද වටහා ගනිමින් අන්ධ විශ්වාසයන්ගෙන් මුලා නොවී වරෙක එළිදැක්වෙන මිත්‍යාව හරහා නිර්මිත නිර්මාණාත්මක රසය ලබාගැනීම යතාර්ථවාදී වේ. එය ජනපි‍්‍රය සංස්කෘතික වපසරිය තුල මිත්‍යායාව ආයුධයක් කර ගනිමින් මිනිසා අතරමන් කරන්නට උත්සහ ගන්නා මායාලෝකයට එහා ගිය ජීවිත යතාර්ථයක් දැක ගැනීමට අවශ්‍ය දුර දැකීමේ දෑසක් ලබා දෙයි.                            

Wednesday, June 13, 2018

             
               තරුණ පරපුරේ පුවත්පත් කියවීම මොටකල මාධ්‍ය ඇබ්බැහිය

               
                       




                                                                      ”කියවීම මිනිසා සම්පුර්ණ කරයි” යන ආදර්ශමය පාඨයට අනුව මිනිස් කි‍්‍රයාකාරකම් අතර කියවීමට ප‍්‍රබල ස්ථානයක් හිමිවේ. නවකතා, කෙටිකථා, පුවත්පත්, සගරා ආදී නොයෙකුත් අංශයන් යටතේ අප කියවීම සිදුකරයි. මෙලොව සිටින සත්ව කොට්ඨාසයන්ට අනුව බලන විට භාෂාවෙන් නිසිපරිදි හැසිරවිය හැක්කේ මිනිසාට පමණ ලිවීම, කියවීම, සන්නිවේදන හැකියාව ප‍්‍රගුණ කර ඇත්තේ මිනිසා පමණි. ඒ අනුව බලන විට මිනිසා දැනුමින් අත්දැකීම් වලින් මෙන්ම කුසලතාවෙන් පරිපුර්ණවන්නෙකු වන්නේ මෙම කියවීමේ හුරුව නිසාවෙනි. දැනුම ලබාගැනීමට නම් අපගේ කියවීමේ හුරුව දියුණු කර ගැනීම අත්‍යවශය කාර්යකි.

                                 පුවත්පත ලෙස හදුනාගන්නේ දෛනිකව භාවිතා වන සමාජ, ආර්ථීක, දේශපාලන ආදී තොරතුරු රැසක් ඇතුලත් තොරතුරු ලේඛනයක් බව සරලව දැක්විය හැකිය. දවසක් තුල හෝ සතියක් තුල රට ඇතුලෙහි සිදුවන සිදුවීම් මෙන්ම විශේෂාංගයන් වාර්ථා වන පුවත්පත අප කියවීමේ මාධ්‍යයන් අතර ප‍්‍රධාන තැනක් ගෙන පැවතුනි. නමුත් වර්තමානය වන විට සමාජයේ ජීවත්වන කණ්ඩායම් අතුරින් තරුණ පරපුර මෙම පුවත්පත් කියවීමෙන් දුරස්වීමක් පෙන්නුම් කරයි. කියවීමට හුරුවී සිටි ඔවුන්ගේ සිතීමේ හැකියාව, ආකල්ප වර්ධනය දැන් දැන් මොටවෙමින් තිරයක්  ඉදිරියේ දෑස් ඇර ගොළුවත රැකීමේ පුරුද්දක් ඇතිකරගනිමින් සිටි.
                             
                               වර්තමාන සමාජය තුල ස්මාර්ට් දුරකථන යන්ත‍්‍රයක් රූපවාහිනියක් භාවිතයෙන් තොරව සිටින පුද්ගලයකු සොයා ගැනීම කල නොහැකි තත්වයකි. අවශ්‍ය සියළු තොරතුරු සුළු වේලාවක් තුල මෙවැනි මාධ්‍යයන් තුලින් ලබා ගැනීම ඔවුනගේ දෛනික පුරුද්ද වී අවසන්ය. නමුත් එවැනි දේ කෙරෙහි පුරුද්දට එහා ගිය ඇබ්බැහියක් ඇති කර ගැනීම තමාගේ කියවීමට ඇති යහපත් පුරුද්ද මොටකරන්නට පවතින හැකියාව දිනෙන් දින වැඩි වන බව ඔවුනටම අමතක වෙමින් සිටි. කියවීම ශාරීරිකව මෙන්ම මානසිකව අත්‍යවශය කි‍්‍රයාවලියක් බවට පත්කරගත් පුද්ගලයා ආකල්පමය වශයෙන් බුද්ධිමත්ව සිතා බලන්නට හුරුවේ. ඒ සදහා හොදම කියවීමේ අංශය බවට පුවත්පත තෝරාගැනීම නිවැරදි බව සිතිම වැරදි නොවෙනු ඇත. මන්ද පුවත්පත වු කලී විවිධාංගීකරණයට ලක් වු විෂය කේෂ්ත‍්‍රයක් යටතේ දෛනිකව අලූත් වන සමාජයේ ප‍්‍රබල මෙහෙයුම් කාරකයක් වීමයි. එම නිසා තරුණ පරපුර වශයෙන් දැනුම ගවේශකයෙකු මෙන්ම රටේ සියලූ තොරතුරු පිලිබද අවබෝධය ද ඉතාමත් වැදගත්ය. ඒ පිළිබද අවබෝධයක් ඇති යම් පිරිසක් තරුණ කණ්ඩායම් අතර අදටත් සිටිම සතුටට කරුණක් වේ. නමුත් මාධ්‍යකරණයේ පෙරලියත් සමග පුවත්පත් කියවීමද අන්තර්ජාලය හරහා සිදුකිරීමේ පුරුද්දක් දැන්‘ දැන් තරුණ පිරිස් අතර ජනපි‍්‍රය පුරුද්දක් වෙමින් පවතී. නමුත් එය කායිකව මෙන්ම මානසිකවද තමාට බලපෑම් ඇති කරන බව සිහිතබා ගැනීම වැදගත්ය. 
                           සන්නිවේදනයේ දියුණුවත් සමග මුලින්ම පැමිණි මුද්‍රිත මාධ්‍යයට අනුව අපගේ තොරතුරු ලබා දෙන ප‍්‍රධාන මාධ්‍ය බවට පුවත්පත පත්වී පැවතුනි. නමුත් දවසින් දවස දියුණුවන සන්නිවේදන ක්ෂේත‍්‍රයේ බිහිවන මාධ්‍ය නිසා මිනිසා පුවත්පත් භාවිතයෙන් ඈත් වෙමින් සිටි. එය අන්තර්ජාලය හරහා පුවත්පතද කියවීමේ කි‍්‍රයාවලියක් ආරම්භ කල දා සිට තවත් උග‍්‍ර වශයෙන් පුවත්පත් භාවිතයෙන් ඈත් වීමක් පෙන්නුම් කලහ. අවිවේකී සමාජ රටාව තුල කාලය කලමණාකරණය තරුණ ප‍්‍රජාවට ප‍්‍රධාන ගැටළුවකි. එම නිසා අන්තර්ජාලයේ පහසු ක‍්‍රමවේදයන් භාවිතය වැනි ක‍්‍රමවේදයන් කෙරෙහි උනන්දුවක් දැක්වීමට ඔවුනට සිදුවී ඇත. මෙම ගැටළුව හදුනාගත පුවත්පත් ආයතනයන්ද තම නමින් අන්තර්ජාල සේවාවක් ආරම්භ කිරීමට හුරුවිය. ලාභය ප‍්‍රධාන පරමාර්ථය වීම මෙයට ප‍්‍රධාන හේතු සාධකය විය. නමුත් මෙවැනි ක‍්‍රමවේදයන් භාවිතයට වඩා ඇබ්බැහි වීම තමාගේ ශාරීරික මෙන්ම මානසික වශයෙන්ද ප‍්‍රධාන ගැටළු රැසක් ඇති කරන බවද සිහිතබා ගත යුතුය. 
                                යුනෙස්කෝ සංවිධානයට අයත් ජර්මන් කොමිෂමේ සිටි ඞීටර් ඔෆන්හොයිස ඉදිරිපත් කල අදහසට අනුව,
                    
        ”නිතිපතා පුවත්පත් කියවීම අපගේ ආකල්ප වලට, හැසිරීමට, සහ අත්‍යවශය සදාචාරමය ගතිපැවතුම් වලටත් බලපෑමක් ඇති කරනවා”
                           
                        ලෙස පවසා ඇත. එම නිසා පුවත්පත වැනි සන්නිවේදන මාධ්‍යයක් හරහා තම කියවීමේ රුචිය වර්ධනය කර ගැනීම තමාට වාසි රැසක් අත්කර දෙන බව අවබෝධ කර ගත යුතුය. එම නිසා අනාගතය නිර්මාණය කරන තරුණ පිරිස මෙම කියවීමේ හුරුව වර්ධනය කර ගැනීම අදවන විට අත්‍යවශය කාර්යබාරයකි. එම නිසා පුවත්පත් භාවිතයට මෙන්ම කියවීමට ද තොරතුරු අවබෝධකර ගැනීමටද යොමු වීම ඉතාමත් වැදගත්ය. 
                                     කියවීමේ රුචිය මොට කරන මාධ්‍ය භාවිතය නිසා එයට ඇබ්බැහි වුවෙකු නොවී එම මාධ්‍ය පරිහරණයේ වැදගත්බව වර්තමාන තරුණ පරපුර අවබෝධ කර ගත යුතුය. පුවත්පත් කියවීම තමාගේ දෛනික පුරුද්දක් බවට පත්කර ගැනීම මිස එම පුරුද්ද මොට කර ගැනීම තමාගේ කියවීමට පවතින පුරුද්ද මොට කර ගැනීම හා සමානය. එම නිසා පුවත්පත වැනි සන්නිවේදන මාධ්‍යයක් දෛනිකව භාවිතයට ගනිමින්  තම කියවීමේ යහපත් පුරුද්ද ඔස්සේ තම ආකල්පයන් හැසිරීම් ක‍්‍රමවේදයන් මෙන්ම තම සිතීමේ ශක්තියද වර්ධනය කර ගැනීමට වර්තමාන තරුණ පරපුර උනන්දුවීම මෙන්ම පුරුදු වීම අත්‍යවශය අංගයකි. එය ඔබගේ කියවීමේ රුචිය පමණක් නොව ඔබගේ අනාගතය නිර්මාණය කර ගන්නට අවශ්‍ය දැනුම් සම්භාරයක්ද එකතු කරයි.

Wednesday, June 6, 2018

                                 
                            යුවතියන්ගේ සම සුදු කිරීමේ උන්මාදය
                               
                 
                               

                 ලෝ තලය තුල බිළිදෙකුගේ උත්පත්තියෙන් පසු දරුවාට මව්පිය ජානයන් මත හෝ එයට වෙනස් ලෙස ශරීරි පැහැය ලැබේ. එහි දී වැඩි ප‍්‍රතිශතයකට අනුව මවගේ හෝ පියාගේ ශරීරි වර්ණයන්ට දරුවා හිමිකම් කියයි. ස්වභාවිකව හිමිවන සමේ පැහැය ගැන කථා කරන විට පුරුෂ පාර්ශවයට වඩා ශරීරයේ පැහැය හෙවත් වර්ණය පිළිබද කථාබහ කරන්නන් අතර කාන්තාවන් ප‍්‍රධාන තැනක් ගනී. කාන්තාවක් වශයෙන් තමන් පිළිබද සැලකිලිමත් වන විට ශරීරයේ පැහැයට මුලිකත්වයක් ලබා දී ඇත. අද වන විට බොහෝ යුවතියන් සුදු වීමට බොහෝ කැමැත්තක් දක්වයි. යුවතියකගේ රූ සපුව වැඩි කරන අංගයක් ලෙස ශරීර පැහැ ලෝ තලය තුල බිළිදෙකුගේ උත්පත්තියෙන් පසු දරුවාට මව්පිය ජානයන් මත හෝ එයට වෙනස් ලෙස ශරීරි පැහැය ලැබේ. එහි දී වැඩි ප‍්‍රතිශතයකට අනුව මවගේ හෝ පියාගේ ශරීරි වර්ණයන්ට දරුවා හිමිකම් කියයි. ස්වභාවිකව හිමිවන සමේ පැහැය ගැන කථා කරන විට පුරුෂ පාර්ශවයට වඩා ශරීරයේ පැහැය හෙවත් වර්ණය පිළිබද කථාබහ කරන්නන් අතර කාන්තාවන් ප‍්‍රධාන තැනක් ගනී. කාන්තාවක් වශයෙන් තමන් පිළිබද සැලකිලිමත් වන විට ශරීරයේ පැහැයට මුලිකත්වයක් ලබා දී ඇත. අද වන විට බොහෝ යුවතියන් සුදු වීමට බොහෝ කැමැත්තක් දක්වයි. යුවතියකගේ රූ සපුව  ය හැදින්විය හැකිය. එමගින් ඇයට අනෙකුත් පුද්ගලයන්ගේ ආකර්ශනය ලැබේ. මඟ තොටකදී හමුවන දැකුම්කළු කාන්තාවක් දුටු කවරෙකු වුවද ඇය දෙස බැලීම ස්වභාවික සංසිද්ධියකි. ආකර්ශණීය කවරෙකු දුටු වුවත් අපගේ නෙත් ආකර්ශනයට ලක් කරයි. එම නිසා යුවතියක් වශයෙන් තම  රූ  සපුවෙහි සුන්දරත්වය පිළිබද සැලකිලිමත් වීමේදී ශරීරයේ පැහැය රැක ගැනීමට මුලික අවධානයක් යොමු කරයි. අතීතයේ ලලනාවන් තම රූ සපුවෙහි වර්ණය සදුන්, කුංකුම, කහ වැනි ස්වභාවික ද්‍රව්‍යයන් ශරීරයේ ආලේප කරමින් රැක ගත්හ. එහිදී සුදට වඩා පැහැපත් බව රැක ගනිමින් රන්වන් රුවක් ලබා ගැනීමට අතීත ලලනාවන් කි‍්‍රයා කල අතර කෘතීම ද්‍රව්‍යයන් භාවිතා නොකලහ. ශරීරයට හානිකර කිසිදු ද්‍රව්‍යයක් ශරීරයේ ගැල්වීමට එකල කාන්තාවන් යොමු නොවු අතර ජීවිතය සොබාදහම සමග හැදී වැඩෙන්නට ඉඩ හරින ලදී.
                                   
                                      යුවතියන්ගේ රූ සපුව පිළිබදව අවධානය යොමු කරන විට අතීතයේ සදුන් කුංකුම වත තවරා රන්වන් රුවක් ලබන සිත් ඇතිව පරිස්සමට සමට සත්කාර කරන්නට පැවති සිතුවිලි දාමයන් වර්තමාන යුවතියන් අතර කාලයේ වේගයත් සමඟ වෙනසකට ලක් වන්නට විය. එම සිතුවිලි තුලට ප‍්‍රධාන වශයෙන් ක්ෂණික බව සහ ඉක්මන් බව යන න්‍යායන්  ඇතුලූ වීම මත පෙරකල යුවතියන් අතර පැවති සිතුවිලි වර්තමාන යුවතියන් අතුරින් දුරස් වන්නට විය. ස්වභාවික ආහාරපාන වෙනුවට කෘති‍්‍රම ආහාර අනුභව රටාවකට සහ ස්වභාවික රුව අලංකරන ක‍්‍රම වෙනුවට කෘති‍්‍රම ආලේපන ගැල්වීමට යොමු වු යුවතියන් ඉක්මන් ප‍්‍රතිඵල ලබා ගැනීම එහි මුලික අරමුණ කරගෙන ඇත. වර්තමානය වන විට මිනිසා පාලනය කරන මාධ්‍ය නැමැති අධිපතියා මෙන්ම කාර්යබහුලත්වය මෙන්ම යාන්ති‍්‍රකරණය ජීවන රටාවට එකතු වීම මත කාන්තාවන් තුල මෙවැනි ආකල්පයන් වර්ධනය වීමට හේතු සාධක විය. සුදු හමට ලැබෙන වර්තමාන සමාජ ගරුත්වය මෙන්ම ජනපි‍්‍රයත්වය මත කාන්තාවන් සුදුහම ලබා ගැනීමට මාර්ගයන් සොයමින් සැරිසරන්නේ සියල්ලන් අතර තමා කෑපී පෙනෙන්නට විය හැකිය.
                    
                                                                     තරුණ පෙනුම බොහෝ කල් රැක ගැනීමට සහ සම සුදු කර ගැනීමට අද යුවතියන් සහ කාන්තාවන් දරන උත්සාහයද උන්මාදයක් බවට පත්වී ඇත. උපතින් හිමි තම ශරීර වර්ණය රැක ගැනීමට වඩා සුදු පැහැයට ලොල් වු කාන්තාවන් තම සම සුදුපැහැ කර ගැනීම වෙනුවෙන් තමන්ට හැකි  ඕනෑම මුදලක් වියදම් කරන්නට, අහිතකර  බව දැන දැන  ඕනෑම ආලේපනයක් සම තුල ගැල්වීමට දැඩි කැමැත්තක් පලකරයි. මිනිස් අවශ්‍යතාවන් පිළිබද සැලකිලිමත් වන වෙළදපල නැමැති අධිපතියා මෙම යුවතියන්ගේ උන්මාදය හොදින් වටහා ගෙන නොයෙකුත් නාමයන්ගෙන් යුවතියන් උදෙසා සම සුදුපැහැ ගැන්වීමට ආලේපයන් හදුන්වා දි ඇත. සති දෙකෙන්, මාසයෙන් සුදුවිය හැකි බවත්, ආටෝපයන් පුරවා ගෙන සිටින ජනපි‍්‍රය යැයි කියන බෝනික්කු බබාලා මාධ්‍යයෙහි තිරය මතට ගෙන එමින් ඔවුන් හරහා යුවතියන්ට මෙය පොළඹවන ආත්මාර්ථකාමී කි‍්‍රයාදාමයක් කි‍්‍රයාත්මක වෙමින් පවති. තමන් සුදු වුයේද මේ ආලේපය ගැල්වීමෙන් යන මුසාබස් මුදලට ලොල් වීම මත දොඩවන මෙවන් නිලියන් සුන්දරත්වය උපතින්ම හිමිකර ගත් ලාංකීය යුවතියන්ගේ රුව විකෘති කරමින් පවති.  පාසල් දැරියන්ගේ සිට මහළු කාන්තාව දක්වා මෙවැනි එකරැයින් සම සුදු කරන ආලේපයන් භාවිතා කරන්නට යොමු වී ඇත්තේ හම සුදු කර ගැනීමට පවතින මානසික සිතුවිල්ල මතය. හම සුදුවට ඇත්නම් සමාජයේ බොහෝ ප‍්‍රසාදයන් හිමිවන මෙවන් සමාජයක සායමක් හෝ තවරාගෙන සුදුවීමට ඇත්නම් එයද කරන තත්වයකට අද කාන්තා සිතුවිලි ගෙනවිත් ඇත. සම සුදු කරන නිෂ්පාදනයන් අතර බ්ලීචිං කී‍්‍රම් වර්ග ප‍්‍රධාන ස්ථානයක් හිමි කරගෙන ඇති අතර එමගින් ඉතාමත් කෙටි කලකදි සම සුදුපැහැ කරයි. ගෝරි, ගෝල්ඩන් ෆල්, තායිරෝස් වැනි වෙළදපල තුල රජ කරන එවැනි කී‍්‍රම් මගින් වන්නේ සමේ ස්වභාවික මෙලනින් තත්වය පාලනය කර සම තුල පිළිස්සීමේ කි‍්‍රයාදාමයක් මත සුදු පැහැයට හැරවීමයි. එමගින් සමෙහි ස්වභාවිකත්වය මෙන්ම නිරෝගි බවද විනාශ කරන අතර සමට හානිකර ප‍්‍රතිඵල රාශියක් එමගින් අතුරු ප‍්‍රතිඵල ලෙස ලැබේ. සම මත පැල්ලම් ආකාරයේ ලප මෙන්ම, සම මත තුවාල ඇතිවීම, බිබිලි දැමීම මෙන්ම පැවති තත්වයට වඩා විකෘති වර්ණයක් එම සුදුවීමේ කෙටි කාලසීමාවෙන් පසු අත්විදීමට සිදුවේ. මෙය බොහෝ වර්තමාන කාන්තාවන් මුහුණ දෙන ගැටළුවකි. මෙසේ ඇතිවන අහිතකර ප‍්‍රතිඵලයන්ගෙන් පසුව විවිධ රෝගාබාධයන්ට මුහුණ දීමටද සිදුවේ. එම නිසා කාන්තාවන් වශයෙන් මෙවැනි ආලේප තෝරා ගැනීමේ දී සැලකිලිමත් විය යුතු අතර තම සම ආරක්ෂා කර ගැනීමට කටයුතු කල යුතුය.
                        
                                                   යුවතියක් වශයෙන් ඔබ සුන්දර වියයුතුය. එයට සුදු හමක් අවශ්‍යය නොවේ. අවශ්‍ය වන්නේ නිරෝගිමත් පැහැපත් දැකුම්කළු බවකි. එයට ශරීර වර්ණය බාධාවක් නොකර ගත යුතුය. ශ්‍රී ලාංකීය ස්වභාවික පරිසරයට ගැලපෙන අයුරින් ස්වභාවික දේ භාවිතා කිරීමට යුවතියක් වශයෙන් කටයුතු කල යුතුය. හිතකර අහිතකර බව නොසලකිමින් නිෂ්පාදනය වන මෙවැනි ආලේපයන්ගෙන් ප‍්‍රවේශම් වීමට ඔබට හැකියාවක් පැවතීම අත්‍යවශය. මන්ද එය ඔබගේ අනාගත ජීවිතයටද බලපෑමක් වියහැකි බැවිනි. සම සුදු කර ගැනීමේ උන්මාදයෙන් මිදී නිරෝගී සමක් පවත්වාගෙන යාමට කාන්තාවක් වශයෙන් සිය ආලේපයන් තෝරා බේරා ගැනීමට තරම් බුද්ධිමට්ටමක් තමන් විසින්ම ගොඩනගා ගතයුතුය. නැතිනම් මාධ්‍ය තිරය මත බෝනික්කුවන් නිලියන් පෙන්වා දෙන මායා ලෝකයේ ඔබ අතරමන් විය හැකිය. එහි ලැබෙන ප‍්‍රතිඵලයද භයානකය. ශරීරයක නීරෝගිකම සිය දියුණුවේ මුලික උපක‍්‍රමය බව සිහි තබා ගතයුතුය. බ්ලීචිං අඩංගු ආලේපයන්, එන්නත් ක‍්‍රම, බෙහෙත් කරල් භාවිතය වැනි එක රැයෙන් සම සුදු කරන්නට පැමිණ ඇති ක‍්‍රමවේදයන් මගින් ඔබ සම සුදු කරනවා වෙනුවට සම විකෘති කිරීමක් සිදුකරන බව අමතක නොකල යුතුය. යුවතියක් වශයෙන් සුන්දරත්වය මත සම සුදු කර ගැනීමේ උන්මාදයක් මත ගොදුරුවන මෙවැනි නිෂ්පාදකයන්ගෙන් මිදී සුදු සම වෙනුවට නිරෝගී සමක් පවත්වාගෙන යාමට කටයුතු කරන්නේ නම් අද මෙන්ම හෙටද අනාගතය තුල ද එකලෙස සිය රූ සපුවේ සුන්දරත්වය රැකගත හැකි බව මතක තබා ගතයුතුය.



Sunday, June 3, 2018

               
                     උන්මාදයක් වු ජනපි‍්‍රය සංස්කෘතිය
                 

        
                     
                            මිනිස් සිත වු කලී මිත්‍යාමය වශයෙන් ගොඩනැගුන ආකර්ශනීය දේ පිළිබදව ලොබ බදින සත්වකොට්ඨාසයකි. වර්තමාන සමාජයත් සමග සසදා බලන කල ජනපි‍්‍රය සංස්කෘතිය යන කලාව මෙහි සත්‍යතාවය පසක් කරයි. වර්තමානයේ පවතින කලාවන් අතුරින් කා අතරත් ජනපි‍්‍රය වු සිත් ඇදගන්නා වු කලාවක් ලෙස ජනපි‍්‍රය සංස්කෘතිය හදුනාගත හැකිය. මේ අනුව ජනපි‍්‍රය සංස්කෘතිය යන්න හදුනාගැනීමට පෙර සංස්කෘතිය පිළිබද අවබෝධයක් පැවතිය යුතුය. මෙයට විවිධ විචාරකයින් විවිධ මත ඉදිරිපත් කර ඇති අතර ඊ බී ටයිලර් නැමැති සමාජ මානව විද්‍යාඥයා විසින් ඉදිරිපත් කර ඇත්තේ,

                           ”දැනුම, ඇදහිලි, කලා, නීති, සදාචාර, සිරිත්විරිත් හා මිනිසා සමාජයේ ජීවත් වන පුද්ගලයෙකු වශයෙන් ලබා ගන්නා වු පුරුදුපුහුණු හා හැකියාවන් අඩංගු සංකීර්ණ සමස්ථයයි.”

                     මෙවැනි අර්ථදැක්වීමකි. මෙලෙස හදුන්වා දුන් සංස්කෘතිය ක‍්‍රමයෙන් විකාශනය වීමත් සමග 1950-1960 දශකයන් පසුවීමත් සමග ජනපි‍්‍රය සංස්කෘති යන්න එකතු වන්නට විය. මෙහිදී සරලවම ජනපි‍්‍රය යන්නෙන් අදහස් කරන්නේ ”ජනයා අතර පි‍්‍රය වු” හා ”ජනයා සමග වැඩෙන” යන්නයි. 20 වන සියවසයත් සමග මෙය ශීඝ‍්‍රයෙන් වර්ධනය වී පවතින සංස්කෘතියට වෙනමම කලාවක් හෙවත් හැඩයක් නිර්මාණය කරන්නට හැකියාව ලැබිනි. ප‍්‍රධාන වශයෙන් සිදුවුයේ මාධ්‍ය  බලපෑමත් සමග ජනපි‍්‍රය කලාව හෙවත් පොප් කල්චර් සමාජ කරලියේ දිදුලන්නට පටන් ගැනීමයි. 
                       
                   20 වන සියවසේ මෙය වඩා ප‍්‍රචලිත වීමත් සමග මෙම ජනපි‍්‍රය සංස්කෘතිය ජනතාව අතර එය ආකර්ශනය වීමක් සිදුවු අතර ක‍්‍රමයෙන් එය ඔවුනගේ ජීවිතයේ කොටසක් බවට පත්වන්නට විය. පුවත්පත, රූපවාහිනිය, ගුවන්විදුලිය, සිනමාව මෙන්ම වර්තමානයේ නව මාධ්‍ය දක්වාද ශීඝ‍්‍රයෙන් විකාශනය වු මෙම ජනපි‍්‍රය සංස්කෘතිය නැමැති සංකල්පය දිගුකාලයක සිට වැඩෙමින් පවතින අතර එය ජන මිනිසාගේ දෛනික ජීවිතය හා බැදෙයි. පොදුජන විඥානය මෙහෙයවන හෙජමනයක් ලෙස ජනමාධ්‍ය ජනපි‍්‍රය සංස්කෘතිය කි‍්‍රයාත්මක කරයි. සමාජය තුළ ඇතිවුන රැල්ලක් ලෙස පැතිරී ගිය මෙම ජනපි‍්‍රය සංස්කෘතිය අදවන විට මිනිසාගේ සියළු දේ කෙරෙහි බලපෑම් කර අවසන්ය. වත්පිළිවෙත්, ජීවන ශෛලිය, ආහාරපාන, ඇදුම්පැළදුම්, හැසිරීම් රටාව, විනෝදය, සතුට ආදී කුමන අංගයක් වුවද අද මෙම ජනපි‍්‍රය සංස්කෘතිය නැමැති රැල්ලට හසුවී අවසන්ය. මේ අනුව බලන විට ජනපි‍්‍රය සංස්කෘතිය වු කලී පංති අතරේ පවතින සංස්කෘතිකමය වෙනස්කම් එකිනෙකා මත ප‍්‍රතිරෝධය වෙමින් එකතු වීමක් මතු කරන බල ක්ෂේත‍්‍රයක් ලෙසද හදුනාගත හැකිය. රැල්ලට එහා ගිය උන්මාදයක් බවට පත් වු මෙම ජනපි‍්‍රය සංස්කෘතිය අද වන විට මිනිසාගේ සියළු හැසිරීම් රටාවන් මෙහෙයවයි.
       තම ආර්ථීකයට අනුව තම පසුම්බියේ පවතින මුදලට අනුව තිබෙන යමක් කුසට දමාගෙන බඩගින්න නිවා ගත් අතීත මිනිසා අද වන විට,
                          ”ඊජීබී නැතිව කෑම එපා”
                         ”යෞවනයේ පොපියන චමත්කාරය”‐ අලියා බීම
            
                    වැනි පුහු සංකල්පයන් වෙත හඹා යමින් මැක්ඩොනල්ඩීි වැනි සුපිරී පන්නයේ කඩකාබරයන්ට ගමන් කරයි. පසුම්බියේ පවතින මුදලට වඩා සමාජයේ පුහුපිළිගැනීමට මිනිසා හුරු කල මෙම ජනපි‍්‍රය සංස්කෘතිය නැමැති මෙහෙයවන්නා මෙය කුඩා දරුවාගේ සිට වැඩිහිටි මහළු සමාජයේ සියලූ කණ්ඩායම් වෙත කාවද්දවා අවසන්ය. තමන්ගේ සංස්කෘතිය ගැනවත් තැකීමකින් තොරව අගල් දෙකේ කෙටි සායවල්, හැට්ට ඇදගනිමින් ඇවිදින්නට බැරි තරම් උස ඇගිල්ලක් තරම් මහතට නිර්මාණය කල අඩියක් ඇති සෙරෙප්පු පැලදගෙන පාරේ කාන්තාවන් ගමන් කරන්නේ මේ ජනපි‍්‍රය සංස්කෘතිය ඇතිකල පුහු සමාජ පිළිගැනීම නිසා නොවේද. ජනපි‍්‍රය විලාසිතාව ලෙස පිළිගන්නේ සංස්කෘතියට එහා ගිය ජනපි‍්‍රය සංස්කෘතිය හරහා පැමිණි මෙම විලාසිතාවන්ය. ජනමාධ්‍ය නිර්මාණශීලිත්වය මෙන්ම වට්ටෝරු ගත නිෂ්පාදන පෙරලිය හරහා මෙය ව්‍යාප්ත වෙමින් පවතී.
                 
                                            නුතන කලා විචාරකයන්ට අනුව ජනපි‍්‍රය සංස්කෘතිය යන්න වඩා බහුතර ජනතාවකගේ සංස්කෘතිය වේ. අලෙවිය මුලිකව ඇති වු මෙම ජනපි‍්‍රය සංස්කෘතියේ මුලික පරමාර්ථය ලාභය හෙවත් මුදලයි. ජනපි‍්‍රය සංස්කෘතියේ මහා මොළකරුවා වන රූපවාහිනිය හරහා මෙය ප‍්‍රබලව සමාජගත කරන අතර සංගීතයෙන්, ගීතයෙන්, රියැලිටියෙන්, දැන්වීම්කරණයෙන් මෙන්ම ටෙලිනාට්‍යකරණයෙන්ද පොප් සංස්කෘතිය රූපවාහිනී තිරය හරහා කලඑළි බසි. බොළද ඉන්දීය වට්ටෝරුගත ටෙලිනාට්‍යකරණය දෙස දෑස් අයා පැය කිහිපයක් එකදිගට නරඹන්නට ජනතාව හුරු කර ඇත්තේ මෙම ජනපි‍්‍රය සංස්කෘතිය මගිනි. ප‍්‍රබල වශයෙන් ස්ති‍්‍රය හා තරුණ පිරිස ජනපි‍්‍රය සංස්කෘතිය ප‍්‍රධාන ග‍්‍රාහක කණ්ඩායම් දෙක ලෙස හදුනාගත හැකි අතර ඔවුන් මුලික කරගෙන එහි ලක්ෂණයන් ගොඩනැගීම මෙන්ම වෙනස් වීම සිදුවේ. ඇබ්බැහියක් ලෙස පැතිරී යන මෙම ජනපි‍්‍රය සංස්කෘතියෙන් තොරව අදවන විට කිසිදු දෙයක් නිර්මාණය නොවන තත්වයට පැමිණ ඇත. ඒ බව ජනතාවද දෑත් දිගුකර සත්‍ය ලෙසම පිළිගෙන අවසන්ය. 
                                      පවතින සංස්කෘතියෙන් එහා ගිය සංස්කෘතියක් බිහි කල මෙම ජනපි‍්‍රය සංස්කෘතිය නැමැති රැල්ලට හසුනොවී බුද්ධියෙන් සිතා කටයුතු කළ යුතු කාලය පැමිණ ඇත. නැතහොත් සංස්කෘතියක් නොමැති රටක් ලෙස ශී‍්‍ර ලංකාවද  පත්වීම වැළැක්විය නොහැකි කරුණක් බවට පත්විය හැකිය. එම නිසා මිනිසාගේ සියලූ දේ පාලනය කරන්නට රැල්ලක් ලෙස පැමිණි ජනපි‍්‍රය සංස්කෘතිය සමාජ පිළිගැනීම් වලට වහල් නොවී බුද්ධියෙන් සිතාබලා පිළිගැනීම සමාජයේ සියලූ පුරවැසියන්ගේ වගකීම වියයුතුය.එය අනාගත පරපුරට සුභදායක සමාජ පරිසරයක් නිර්මාණය කරයි.